2012-02-08

ෆොන්සේකා ගැන ජී.එල්.ගෙන් සුබවාදී ඉඟියක්


සිරගතකොට සිටින හිටපු යුද හමුදාපති ජනරල් සරත් ෆොන්සේකා මහතා ළඟදීම නිදහස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත් ඒ සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද එකඟත්වය පල කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙරට සිටින තානාපතිවරුන් කිපදෙනෙකුට ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වනවා.

පෙබරවාරි 04වනදා නිදහස් කරනු ලැබුවේ සාමාන්‍ය සිරකරුවන් පමණක් බවත් ෆොන්සේකා මහතා අනිවාර්යයෙන්ම ළඟදීම නිදහස් කරනු ඇති බවත් ඇමතිවරයා එම තානාපතිවරුන්ට සහතික වී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.
ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරය ලබන 27වන දා පැවැත්වෙන බැවින් ඊට පෙර ෆොන්සේකා මහතා නිදහස් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ.
කෙසේවුවද ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනෝමා ෆොන්සේකා මහත්මිය සඳහන් කළේ සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා සහ රජය අතර සාකච්ඡාවල ප්‍රගතියක් තිඛෙන දක්නට ලැබෙන බවයි. එහෙත් ‍ජෙනරාල්ගේ නිදහස වෙනුවෙන් සමාවක් ඉල්ලීමට ජෙනරාල්වරයා හෝ තම පවුලේ කිසිවකු සූදානම් නොමැති බවත් ඇය එහිදී අවධාරණය කර සිටියා.
හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් සිරගතකොට වසර දෙකක් සැපිරෙන ලබන 8වනදා එයට විරෝධය පලකිරීම සඳහා සාමකාමී උද්ඝෝෂනයක් පැවැත්වෙන බවත් තමා එයට සහභාගිවන බවත් අනෝමා ෆොන්සේකා මහත්මිය සඳහන් කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.