2014-12-27

මම රඟපාන චරිතවලට නිසි ඇගයීමක් ලැබෙයි - දිලිනි ලක්මාලි

2008 වසරේ ජානක සිරිවර්ධනගේ 'පිණි බිංඳු' ටෙලිනාට්‍යය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි දිලිනි ලක්මාලි වර්තමානය වනවිට බොහෝ රසික පිරිස් අතර ජනප්‍රිය, ආදරණීය චරිතයක් බවට පත්ව සිටියි. මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයකින්ම එකිනෙකට වෙනස් විවිධ චරිත ඔස්සේ පිවිසෙන දිලිනි වර්තමානයේ සිටින කාර්යබහුලම රංගන ශිල්පිනියක්ද වේ. කාලයකට පසුව  අපි සමගින් දොඩමළු වන ඇය සිය අලුත්ම තොරතුරු අපට පැවසුවේ මේ ආකාරයෙනි.

දිලිනි නිතර දකින මූණක් වෙලා මේ දවස්වල?
මේ දවස්වල මම රංගනයෙන් දායක වුණ ටෙලිනාට්‍ය කිහිපයක්ම විකාශය වෙනවා. ජේ. සීවගුරුනාදන්ගෙ 'අඟුරු සිත්තම්'කියන ටෙලිනාට්‍යය සෙනසුරාදා ස්වර්ණවාහිනියේ විකාශය වෙනවා. ඒ වගේම කැළුම් පාලිත මහීරත්නගේ 'ස්නේහා' නාට්‍යය විකාශය වෙනවා හිරු නාලිකාවෙ.
ඊට අමතරව 'පුර කලණි', 'බී.ඕ.සී'  හා 'තීර්ථ තරණය' කියලා තවත් මා රංගනයෙන් දායක වුණ ටෙලිනාට්‍ය දෙකක් විකාශය වෙනවා. මේ නිර්මාණ හින්දා වැඩිපුර මාව දකින්න ලැබෙනවා. මම හිතන්නෙ මගේ රසිකයන්ට මාව නිතර දකින මූණක් වෙලා තියෙන්නෙ ඒ හින්දා.

දිලිනිට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නෙ ඉසුරිටද? නැත්නම් සාගරීටද?
මේ චරිත දෙකටම ලැබෙනවා. 'අඟුරු සිත්තම්' ටෙලිනාට්‍යයේ 'ඉසුරි' කියන්නෙ අයියායි, තාත්තායි එක්ක මුඩුක්කු ජීවිතයක් ගතකරන ගෑනු ළමයෙක්. එයා උත්සාහ කරන්නෙ මුඩුක්කු ජීවිතෙන් මිදිලා හොඳ වැදගත් ජීවිතයක් ගතකරන්න. නමුත් පිට් පොකට් ගහන අයියටත්, මත්පැනට ලොල්වෙලා ඉන්න තාත්තාටත් මේ මුඩුක්කු ජීවිතේ සුරලොවක් හින්දා ඒ දෙන්නා කැමති නැහැ මේ ජීවිතෙන් මිදෙන්න. ඒ නිසා නිතරම 'ඉසුරි' සමාජය ඉදිරියේ අසරණ වෙනවා.
'ස්නේහා' ටෙලි නාට්‍යයේ 'සාගරී' කියන්නෙ මා මෙතෙක් රංගනයෙන් දායක වුණ චරිත අතරින් වෙනස්ම චරිතයක්. 'සාගරී' කියන්නෙ විවාහක බිරිඳක්. නමුත්, දරුවන් නොමැතිව කනස්සලෙන් ගතකරන කෙනෙක්. ඒත් ඇයට වාසනාවකට වගේ දරුවෙක් අරන් හදාගන්න අවස්ථාව ලැබෙනවා. නමුත් මේ දරුවා හදාවඩා ගැනීමෙන් ඇයට ප්‍රශ්න බොහොමයකට මුහුණදෙන්න සිදුවෙනවා.  
ඊට අමතරව මේ දිනවල විකාශය වෙන 'පුරකළණි' ටෙලිනාට්‍යයේ පුන්නටත්, 'බී.ඕ.සී' නාට්‍යයේ චමත්කාටත්, 'තීර්ථ තරණය' ටෙලි නාට්‍යයේ රවිනිටත් එක සමාන ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

දිලිනි ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් කාලයක් වෙනවා, හිතුවාද මේ තරම් ජනප්‍රිය චරිතයක් වෙයි කියලා?
මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා මම දැන් අවුරුදු 6 ක් වෙනවා. එදා ඉඳලා අද ගත්තොත් මම ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයක එකිනෙකට වෙනස් විවිධ චරිත සඳහා රංගනයෙන් දායක වෙලා තියෙනවා. අදටත් මම කාර්යබහුල නිළියක්. ඉදිරියේදී තවත් මගේ ටෙලිනාට්‍ය බොහෝ ප්‍රමාණයක් විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා. ඉතින් මේ වැඩ දිහා නැවත හැරිලා බැලුවොත් නිළියක් විදිහට මේ ගෙවපු කාලය ගැන ගොඩක් සතුටුයි. අදට වඩා මම ක්ෂේත්‍රයට ආපු කාලයේදී රඟපාන්න එකතු වෙනවා කියන එක අසීරු දෙයක්. එවැනි වටපිටාවක තමයි මම ක්ෂේත්‍රයට ආවේ. ඉතින් ප්‍රවීණ හා නවකයන් එක්ක වැඩ කරලා අත්දැකීම් ගොඩක් මගේ ජීවිතේට එකතු කරගත්තා. ඉතින් නිළියක් විදිහට මේ ගෙවපු කාලය ගැන ගොඩක් මම තෘප්තිමත් වෙනවා. 

අද වෘත්තීය මට්ටමේ නිළියක් වුණත් දිලිනිට තිබුණේ වෙන හීනයක්?
ඇත්තටම, නිළියක් විදිහට මේ ක්ෂේත්‍රයට එකතු වෙන්න මගේ අදහසක් තිබුණෙ නැහැ. පොඩි කාලේ ඉඳලා මගේ හීනේ වෙලා තිබුණෙ ගුවන් සේවිකාවක් විදිහට කටයුතු කරන්න. නමුත් දෛවය මාව මේ තැනට ගෙනාවා. 2008 අවුරුද්දේ තිබුණ ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරිය තරගයට එකතු වෙලා ලබාගත්ත ජයග්‍රහණයත් සමග තමයි රංගනයට පිවිසෙන්න දොරගුලු විවෘත වුණේ. අද ඉතින් වෘත්තීය මට්ටමේ නිළියක් විදිහට දිගු ගමනක් ඇවිල්ලා ඉන්නවා. ඒත්, තාම මගේ ආසාව ගුවන් සේවිකාවක් විදිහට වැඩ කරන්න තමයි.

දිලිනි කැමති ජනප්‍රිය නිළියක් විදිහට හඳුන්වනවාටද? නැත්නම් දක්ෂ නිළියක් විදිහට හඳුන්වනවාටද?
දක්ෂ නිළියක් විදිහට. මොකද, ජනප්‍රියත්වය කියන දේ තාවකාලික දෙයක් හැටියටයි මම දකින්නෙ. ජනප්‍රියත්වය කියන දේ අද තිබිලා හෙට නැති වෙන්න පුළුවන්. නමුත්, දක්ෂයි කියන දේ හැමදාම තියෙන්න පුළුවන්. මම හැමවිටම උත්සාහ කරන්නෙ දක්ෂයෙක් වෙන්න.

දක්ෂයෙක් විදිහට දිලිනිව ඇගයීමකට ලක් වූ අවස්ථා තියෙනවාද?
2010 අවුරුද්දේ තිබ්බ 'රයිගම්' ටෙලිසම්මාන උලෙළේදී 'කණෙරූ' හා 'ඇබෑර්තු ඇත' කියන ටෙලිනාට්‍යවල රඟපෑම නිසා වසරේ නැගී එන ජනප්‍රියම නිළියට හිමි සම්මානය ලැබුණා. ඊට අමතරව මා සම්මාන සඳහා නිර්දේශ වුණ අවස්ථාත් තිබුණා. ඉතින් ඉදිරියේදීත් මම හිතන්නෙ මම රඟපාන චරිතවලට නිසි ඇගයීමක් ලැබෙයි කියලා.

ප්‍රේක්ෂකයන් අතරට ගිය චරිත තියෙනවාද දිලිනිට?
'නිල් නෙතු' ටෙලිනාට්‍යයේ මා කළ චරිතය මිනිස්සු අතරට ගියා. ඊට අමතරව 'සිරිගේ ඉරණම', 'මුතුපලස', 'ඇබෑර්තු ඇත' හා 'පාරමී' කියන ටෙලිනාට්‍යවල මා රඟපෑ චරිතත් මිනිස්සු අතර ජනප්‍රිය වුණා. 
වර්තමානයේ තිරගත වෙන 'පුරකලණි', 'ස්නේහා' හා 'අඟුරු සිත්තම්' කියන ටෙලි චරිතවලටත් ලැබෙන ප්‍රතිචාර අනුව මිනිස්සු ආදරය කරනවා කියලා හිතෙනවා.

කවදා හරි හිතුණොත් දැන් රඟපෑවා ඇති කියලා වෙනත් වෘත්තියක් තෝරගන්නවද?
ඇත්තටම හැමදාම අපිට මේ වෘත්තිය නියැළෙන්න පුළුවන්කමක් ලැබේවි කියලා තීරණයකට එළැඹෙන්න අමාරුයි. නමුත් මේ වෘත්තියෙන් සමුගත් දවසට කරන්නෙ මොකක්ද කියලා තවම සැලසුම් කරලා නැහැ. 
නමුත් පුංචි අදහසක් තියෙනවා ව්‍යාපාරයකට මුලපුරන්න. ඒත් තවමත් සැලැස්මක් නැහැ. 









No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.