2011-12-13

ප්ලාස්ටික් කූඩවලට එරෙහිව රටපුරා අදත් විරෝධතා

ප්ලාස්ටික් ඇසුරුම් භාවිතයෙන් එළවළු සහ පළතුරු ප‍්‍රවාහනය කිරීමේ නීතිරීති අනිවාර්ය කිරීමට එරෙහිව අද දිනයේද ප‍්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්වුණා. මේ නිසා දඹුල්ල, මීගොඩ, සහ මැනිං වෙළෙඳපොළ අද දින වසා දමා තිබෙනවා. කොළඹ පිටකොටුව මැනිං වෙළෙඳපොල ව්‍යාපාරිකයන් උද්ඝෝෂණයක නිරත වූයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටයි. උද්ඝෝෂණය හේතුවෙන් කොටුව ප‍්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්ද දක්නට ලැබුණා. වෙළෙඳ ව්‍යාපාරිකයන් කොටුව ප‍්‍රදේශයේ මාර්ගවලට ප‍්‍රවිශ්ඨ වීම නිසා මෙම රථ වාහන තදබදය ඇති වුණා. උද්ඝෝෂණය නතර කෙරුණේ සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට වෙළෙඳ ව්‍යාපාරිකයන් තීරණය කිරීමත් සමගයි. මේ අතර දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ ගොවීන්ද අද උදෑසන විරෝධතා ව්‍යාපාරයක නිරත වුණා. ඒ මාර්ගද අවහිර කරමින්. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන්ද උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූ බව නෙත් වාර්තාකරු පවසනවා. හම්බන්තොට බරවාකුඹුක පොළ ඉදිරිපිටද ප්ලාස්ටික් ඇසුරුම් භාවිත කිරීම අනිවාර්ය කිරීමට එරෙහිව විරෝධතාවයක් පැවැත්වුණා.