2012-04-05

අලුත් අවුරුදු විශේෂ බස් සේවා අද සිට


එළ‍ඹෙන උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව සඳහා අද (05) දි‍නයේ සිට විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජාතික ගමනාගමන කොමිසන් සභාව මෙම විශේෂ බස්රථ සේවාව ක්‍රියාත්මක කරනු ලබනවා.
ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය කොළඹ කොටුවේ සිට දිවයින පුරා විහිදෙන පරිදි ක්‍රියාත්මක කරනු ලබන මෙම විශේෂ සේවාව කටුනායක, බියගම වෙළඳ කලාපය සහ වෙනත් ප්‍රදේශවල කර්මාන්තපුර ආශ්‍රිතව ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 
මේ අතර මෙම කාලය තුළ අධිවේගී මාර්ගයේ ධාවනය වන බස්රථ ද කිසිදු ප්‍රමාදයකින් තොරව ධාවනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා. 
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියලු රියදුරු, කොන්දොස්තර සහ කාර්මික මහතුන්ගේ නිවාඩු මෙම කාලය තුළ අවලංගු කරන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ශෂී වෙල්ගම මහතා ප්‍රකාශ කළා. ජාතික ගමනාග‍මන කොමිසන් සභාව ද අද දිනයේ සිට කොළඹ කොටුවේ සිට විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව එම ‍කොමිසමේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසනවා.
ඒ සඳහා අතිරේක බස්රථ දහසක් පමණ යෙදවීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළා.
මේ අතර අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් හෙට (06) දිනයේ සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.