2013-12-07

ෆයර් බ්‍රිගේඩ් එකට කවුද කිව්වේ - පිටකොටුව බෝධිරාජ මාවතේ කඩ පෙළක ගින්නේදී උණුසුම් වචන හුවමාරුවක්

පිටකොටුව බෝධිරාජ මාවතේ කඩපෙළක ඊයේ ඇති වූ ගින්න නිවීම සඳහා ගිනි නිවන හමුදාවේ ප්‍රමාදයක් නොවුයේ නම් ඉන් සිදුවු හානිය අවම කර ගත හැකිව තිබු බව ඇතැම් වෙළඳසැල් හිමියන් පවසනවා. ගිනි නිවන හමුදාවට සිද්ධිය ගැන දැනුම්දී ඔවුන් පැමිණීමට සැලකිය යුතු වේලාවක් ගත වූ බව පවසන වෙළඳසැල් හිමියන් මේ නිසාම අවම කර ගත හැකි ව තිබූ හානිය වැඩි වූ බව පෙන්වාදෙනවා.
පිටකොටුව බෝධිරාජ මා‍වතේ අලුතින් ඉදිකළ කඩ පෙළක ඊයේ රාත්‍රී 7.45ට පමණ ගින්නක් හට ගත් අතර එම ගින්න නිවීමට ගිනි නිවීමේ භටයින් එම ස්ථානයට පැමිණියේය. ගින්න නිවා දමා අවසනදී මාධ්‍යවෙත අදහස් දක්වමින් වෙළඳසැල් හිමියන් ගිනි නිවීමේ හමුදාවේ ප්‍රමාදය ගැන ඉහත චෝදනාව එල්ල කරන ලදී. එම අවස්ථාවේදී ගිනි නිවීමේ නිලධාරීන් හා වෙළඳසැල් හිමියන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය. 
එහිදි ගිනි නිවීමේ නිලධාරීන් විමසා සිටියේ “කවුද කිව්වේ ෆයර් බ්‍රිගේඩ් එකට” කියාය.
“අපි පොලීසියට කිව්වා”, “ෆයර් බ්‍රිගේඩ් එකට කිව්වා” යැයි එම ස්ථානයේ සිටි වෙළඳසැල් හිමියන් කියද්දී “ඔයාලා පාරට බඩු දාලා එන්නේ කොහොමද අපි” යනුවෙන් ගිනි නිවීමේ නිලධාරීන් ද ප්‍රශ්න කළේය.
කෙසේ වෙතත් ගින්න අවම කාලයක දී මැඩපැවැත්වීමට හැකි වු බව ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ ස්ථාන භාර නිලධාරී ආර්.ජී විජේසුරිය මහතා පැවසුවේය.
කෙසේ හෝ මැද කොළඹ මෙතරම් ගින්නක් ඇවිලෙද්දී එය ඉක්මනින් නිවා දැමීමට රජය සතුව වැඩපිළිවෙළක් නැතැයි කියමින්ද වෙළඳසැල් හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වන ලදී,
ඊයේ ඇති වූ එකී ගින්නෙන් සෙල්ලම් බඩු, පාවහන්, ප්ලාස්ටික් ද්‍රව්‍ය, ගෘහ උපකරණ, රෙදි පිළි විශාල ප්‍රමාණයක් විනාශ විය. 
ගින්නෙන් සිදූ වූ අලාභය ගණනය කර නැත.
ගින්නට හේතුව නිශ්චිතව හඳුනාගෙන නැති අතර ඊයේ දහවල් සිට පැවති විදුලි කාන්දුවක් ඊට හේතුව විය හැකි බවටද වෙළඳසැල් හිමියන් සැක ක‍රන ලදී.
පිටකොටුව, බෝධිරාජ මාවතේ ඊයේ රාත්‍රී හටගත් එකී ගින්නෙන් වෙළඳසැල් සියයකට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති බව පොලීසිය ද පවසා සිටියේය.
මේ අතර අද රජයේ රස පරීක්ෂකවරයාත් විදුලි ඉංජිනේරුවරයාත් එම ස්ථානයට ගොස් විමර්ශන සිදුකිරීමට නියමිතය.
තවද එම ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා පිටකොටුව පොලිස් ස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායම් 02ක් පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 

Source - Adaderana.lk

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.