2013-12-06

‘කැසිනෝ ඇතුළු සූදු ක්‍රීඩා එපා - ත්‍රෛයිනිකායික මහනාහිමිවරු ජනපතිට ලියයි

සාරධර්ම වනසන කැසිනෝ වැනි සියලු සූදු ක්‍රීඩා තවදුරටත් ව්‍යාප්ත නොකිරීමටත් ඒවා නතර කිරීමටත් පියවර ගැනීමෙන් ජනතාවට පමණක් නොව රජයටද යහපතක් වනු ඇතැයි ත්‍රෛයිනිකායික මහා නා හිමිවරුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටට ලිපියකින් දන්වා තිබෙනවා.
දූ කෙළියෙන් රටක් සංවර්ධනය කළ හැකි බව සිතනවා නම් එය මුලාවක් බව ද  මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත, අමරපුර නිකායේ මහා නායක දවුල්දෙන ඤානිස්සර සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක නාපාන පෙමසිරි   නාහිමිවරුන්ගේ අත්සනින් ජනපතිට යැවුණු ලිපියේ සඳහන්ය. 
එම ලිපියේ පහත පරිදිද දැක්වේ. 
එදා රජවරුන් උපදෙස් ගත්තේ ගුණධර්මයන්ගෙන් සමන්විත ප්‍රඥාවන්තයන්ගෙනි. එනිසා රජුගේ ආර්ථක හා වෙනත් ප්‍රතිපත්තීන්ගෙන් රටට අවැඩක් වූයේ නැත. ප්‍රඥාව හා ගුණධර්ම නොමැති උපදේශකයන්ගෙන් සිදුවන්නේ බලවත් හානියකි. බෞද්ධ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික ලක්ෂණයන්ගෙන් සම්මාආජීවය හා සම්මා කම්මන්තය වැදගත් තැනක් ගනී. එම ආර්ථික ප්‍රතිපත්තියේ සුවිශේෂී ලක්ෂණය වූයේ රටවැසියාට ආහාර ලබාදීම අරමුණු කොට ගත් කෘෂි ජීවන ක්‍රමය නඟාලීමය. ඒ සැබෑ උරුමයට සිදු වූ හානිය නිදහසින් පසු අද දක්වාම නිවැරදි නොකරගැනීම අද පවත්නා පරිහාණියට මුලයි. 
ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ සාරධර්ම පිරිහීමට පත්කරන අනාගතය උකසට තබන හාර දහසක් පමණ රැකියා අවස්ථාවන්ගෙන් හා ධනයෙන් ලැබෙන ඵලය කුමක්ද? සූදුව වැනි අධර්මයෙන් ලබාගන්නා මුදලින් කළ හැකි රටක අංග සම්පූර්ණ සංවර්ධනය කුමක්ද? යනාදී ප්‍රශ්න පිළිබඳ නුවණැසින් විමසා බැලිය යුතුව ඇත. විදේශ සංචාරක ව්‍යාපාරයද ඉලක්ක කොට අප රට සංවර්ධනය කිරීමට යෑමෙන් මේ රටේ සෑම ආගමිකයකුගේම ආධ්‍යාත්මික ජීවියට එල්ලවන තර්ජනය සුළුපටු නොවන්නේය. එබැවින් අතීතය තුළින් පාඩම් උගෙන අප රටටම ආවේණික වූ භෞතික හා ආධ්‍යාත්මක දෙඅංශයේම සංවර්ධනයක් වන පරිදි ආර්ථික ප්‍රතිපත්තියක් සකසා ගැනීමට කාලය එළැඹ ඇති අතර දැන් අප ගමන් කරන්නේ කුමන දිශාවකටදැයි ආපසු හැරී බලා නිවැරදි මග තෝරාගත යුතුව ඇත. 
එසේම ජනාධිපතිවරයා වෙත යොමු කළ මෙම ලිපිය ආරම්භ කර ඇත්තේ පරාභව සූත්‍රයේ ගාථාවකිනි. 
එනම්,
ඉත්ථිධුතේත සුරාධුතේත අක්ඛධුතේතච  යො නරොලද්ධං ලද්ධං විනාසෙති තං පරාභවතො මුඛං


යම් මිනිසෙක් ස්ත්‍රීයට සූදුවට ලොල් වී ලද දෑ වනසා ගන්නේ ද එය පුද්ගලයාගේ පිරිහීමේ දොරටුවයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.