2014-01-25

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ රූපමය අවවාද සහිත ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ රූපමය අවවාද සහිත ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් සභානායක, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
මේ ගැසට් නිවේදනයේ සඳහන් පරිදි දුම්කොළ නිෂ්පාදන භාවිතය හෝ දුම්කොළ නිෂ්පාදන භාවිතය මඟින් පිටවන දුමාරය හේතුවෙන් සෞඛ්‍යයට සිදු වන බලපෑම් හෝ උපද්‍රව සම්බන්ධයෙන් දුම්කොළ නිෂ්පාදන අඩංගු කිසිදු පැකැට්ටුවක, පාර්සලයක, සැහැල්ලු කාඩ්බෝඩ් පෙට්ටියක හෝ ලේබලයක අසත්‍ය, නොමඟ යවන සුළු හෝ රැවටිලි සහගත පණිවුඩ අඩංගු නොවිය යුතුයි. ඒවායෙහි ඍජු හෝ වක්‍රාකාරයෙන් හැඟෙන පරිදි "අඩු", "සැර නැති", "අධික සැර නැති", "මෘදු" හෝ "අමතර" යනාදී වචන අඩංගු පදයක්, විස්තරයක්, වෙළෙඳ ලකුණු, රූපයක් හෝ වෙනතු යම් සලකුණක් අඩංගු නොවිය යුතුයි.
තවද අදාළ ගැසට් නිවේදනයේ උපලේඛනයේ දක්වා ඇති රූපමය සෞඛ්‍ය අවවාදයක්, යම් බෙදා හරිනු ලබන විකුණනු ලබන හෝ විකිණීම සඳහා අර්පණය කරන ලද සිගරට් අඩංගු සිගරට් පැකැට්ටුවක, පාර්සලයක හෝ සැහැල්ලු කාඩ්බෝඩ් පෙට්ටියක අඩංගු වන්නේ නම් මිස කිසිදු සිගරට් නිෂ්පාදකයෙකු, ආනයනකරුවෙකු, සිල්ලර වෙළෙන්දෙකු, ගබඩාකරුවෙකු, නියෝජිතයෙකු හෝ විකුණුම්කරුවෙකු විසින් එවැනි සිගරට් අඩංගු සිගරට් පැකැට්ටුවක්, පාර්සලයක් හෝ සැහැල්ලු කාඩ්බෝඩ් පෙට්ටියක් නිෂ්පාදනය, බෙදා හැරීම, විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම නොකළ යුතු යැයිද සඳහන් වේ.
මෙම රූපමය සෞඛ්‍ය අවවාදයක් සිගරට් අඩංගු සෑම පැකැට්ටුවක, පාර්සලයක හෝ සැහැල්ලු කාඩ්බෝඩ් පෙට්ටියක දෙපැත්තෙහිම මුද්‍රණය කළ යුතු අතර එය එම පැකැට්ටුවේ, පාර්සලයේ හෝ සැහැල්ලු කාඩ්බෝඩ් පෙට්ටියේ ඉඩ ප්‍රමාණයෙන් 80%කට වඩා අඩු නොවන ලෙස දෙපැත්තේම මුද්‍රණය විය යුතු බවත් විකිණීම සඳහා භාවිත කරනු ලබන යම් දුම්කොළ නිෂ්පාදනයක් සහිත සෑම පැකැට්ටුවක්, පාර්සලයක් හෝ සැහැල්ලු කාඩ්බෝඩ් පෙට්ටියක් හෝ ලේබලයක් තුළ එම දුම්කොළ නිෂ්පාදනයේ අඩංගු නිකොටීන්, තාර, ෆෝමල්ඩිහයිඩ් හා අනෙකුත් විෂ ද්‍රව්‍ය ඇතුළු ව එහි සංඝටක හා විමෝචක පිළිබඳ අදාළ විස්තර එම දුම්කොළ නිෂ්පාදන අඩංගු පැකට්ටුව,පාර්සලයක හෝ සැහැල්ලු කාඩ්බෝඩ් පෙට්ටියක හෝ ලේබලය තුළ අඩංගු විය යුතු බවත් සඳහන් වේ.
සෑම දුම්කොළ නිෂ්පාදනයක්ම පැකැට්ටුවක්, පාර්සලයක් හෝ සැහැල්ලු කාඩ්බෝඩ් පෙට්ටියක් තුළ විකුණුවද, එහි අදාළ නිෂ්පාදනයේ නිෂ්පාදිත දිනය, මාසය හා වසර සඳහන් විය යුතු ය. යම් දුම්කොළ නිෂ්පාදනයක් අඩංගු පැකට්ටුවක, පාර්සලයක හෝ සැහැල්ලු කාඩ්බෝඩ් පෙට්ටියක හෝ ලේබලයක අඩංගු සියලුම සෞඛ්‍ය අවවාද හා අනෙකුත් විමෝචක පිළිබඳ තොරතුරු මුද්‍රණ අකුරු 10කට නොඅඩු ප්‍රමාණයෙන් භාෂා තුනෙන්ම මුද්‍රණය කළ යුතුය. යම් දුම්කොළ නිෂ්පාදනයක් අඩංගු පැකට්ටුවක, පාර්සලයක හෝ සැහැල්ලු කාඩ්බෝඩ් පෙට්ටියක හෝ ලේබලයක ඇති රූපමය සෞඛ්‍ය අවවාද වෙනතු සලකුණක් හෝ පින්තූරයක් මඟින් සැඟවීම නොකළ යුතු අතර එම සෞඛ්‍ය අවවාදය කළු පසුබිමෙහි සුදු අකුරෙන් හෝ සුදු පසුබිමේ කළු අකුරෙන් හෝ මුද්‍රණය කළ යුතු ය. යම් දුම්කොළ නිෂ්පාදනයක් අඩංගු පැකට්ටුවක, පාර්සලයක හෝ සැහැල්ලු කාඩ්බෝඩ් පෙට්ටියක් මත මෙම නියෝගවල උපලේඛනයේ දක්වා ඇති එක් එක් රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රෙභ්ද අකුරින් එක් වර්ගයක් පමණක් මුද්‍රණය කිරීමට විවිධ වෙළෙඳ නාම යටතේ සිගරට් නිෂ්පාදනය කරනු ලබන සෑම සිගරට් නිෂ්පාදකයෙකු විසින්ම වගබලා ගත යුතුය. එම රූපමය සෞඛ්‍ය අවවාද සෑම මාස 06කට වරක්ම වෙනස් කළ යුතු යැයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
SOURCE - NEWS.LK

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.