2015-05-07

ඇඟිල්ල තබා ඊ.පී.එෆ්. ගිණුම තමන්ටම බලාගන්න යන්ත්‍රයක්‌

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට තමන්ගේ ගිණුමේ පවතින ශේෂය අද (07 වැනිදා) සිට තමන්ටම පරීක්‍ෂා කරගැනීමට හැකිවේ. ඒ අනුව අර්ථසාධක අරමුදල් ශේෂය පරීක්‍ෂා කිරීමේ යන්ත්‍රයක්‌ ඊයේ (06 වැනිදා) නාරාහේන්පිට පිහිටි කම්කරු මහලේකම් කාර්යාල පරිශ්‍රයේ දී කම්කරු ඇමැති එස්‌. බී. නාවින්න මහතා අතින් ස්‌ථාපිත කෙරිණි.

මෙම නව යන්ත්‍රය ස්‌ථාපිත කිරීමත සමඟ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට ඔවුන්ගේ ගිණුම්වල පවත්නා ශේෂය ඕනෑම මොහොතක තම ඇඟිල්ල යන්ත්‍රයට තබා පරීක්‍ෂා කර ගැනීමේ පහසුකම ලැබේ. ඊට අමතරව සිය හාම්පුතුන් විසින් පසුගිය වසරවල තමන්ගේ ගිණුම්වලට බැරකළ යුතු දායක මුදල් බැරකර ඇද්ද? නැද්ද? යන්න ඕනෑම මොහොතක පරීක්‍ෂා කර ගැනීමටද හැකියාව ලැබේ.

මේ වනවිට විද්යුත් ක්‍රමයට ලියාපදිංචි වී සිටින සියලු සාමාජික, සාමාජිකාවන්ට මෙම පහසුකම ලබා ගත හැක. දැනට විද්යුත් ක්‍රමයට ලියාපදිංචි වී නොමැති අර්ථ සාධක අරමුදල් සාමාජික සාමාජිකාවන්ට සිය හාම්පුතුන් හරහා කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමෙන් මෙම පහසුකම ලබාගත හැකිය.

ඉදිරි මාසය තුළ ප්‍රධාන කාර්යාලයට අමතරව දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාල තිහක (30) මෙම නව යන්ත්‍ර ස්‌ථාපිත කිරීමට නියමිතය.

කම්කරු අමාත්‍යාංශ ලේකම් හේරත් යාපා, අතිරේක ලේකම් එම්. ඩී. එල්. රොද්‍රිගෝ, අතිරේක ලේකම් කම්කරු කොමසාරිස්‌ ජනරාල් චාන්දනී අමරතුංග, සේවා නියුක්‌තියන්ගේ භාර අරමුදල් මණ්‌ඩලයේ සභාපති මහින්ද මඩිහහේවා, නියෝජ්‍ය කම්කරු කොමසාරිස්‌ ලලිත් පෙරේරා ඇතුළු නිලධාරීහු කිහිපදෙනෙක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.