2011-12-12

ප්ලාස්ටික් කූඩ නීතියට විරෝධතා - නීතිය හකුළා නොගන්නා බව විෂය භාර ඇමති කියයි

එළවළු සහ පළතුරු ප‍්‍රවාහනය සඳහා ප්ලාස්ටික් කූඩ අනිවාර්යය කෙරුණු නීතිය තවදුරටත් මත භේදයට ලක්ව තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ නීතියට පටහැනිව එළවළු සහ පළතුරු ප‍්‍රවාහනය කළ ලොරි රථ 40 ක් අද අළුයම අත්අඩංගුවට ගත් බවයි.

ඊට විරෝධය පළ කරමින් ප‍්‍රදේශ කිහිපයක දී උද්ඝෝෂණ සිදු කෙරුණා. තඹුත්තේගම ප‍්‍රදේශයේදී එවැනි උද්ඝෝෂණයක් සිදු කෙරුණේ අනුරාධපුර, කුරුණෑගල ප‍්‍රධාන මාර්ගය ද අවහිර කරමින්. මහනුවර, යාපනය ඒ 09 මාර්ගය අවහිර කරමින් දඹුල්ලේ දී තවත් උද්ඝෝෂණයක් සිදු කෙරුණා. එය සමනය කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ට උද්ඝෝෂකයන විසින් එළවළු වලින් පහරදුන් බවයි අප වාර්තාකරු පවසන්නේ.


මෙවැනි උද්ඝෝෂණ හමුවේ නව නීතිය හකුලා නොගන්නා බව සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසනවා.
මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසන්නේ පනවා ඇති නව නිතිය නිසා එළවළු මිල ඉහළ යා හැකි බවයි. ඒ කොළඹ අද පැවැත්වු මාධ්‍ය හමුවක දීයි.
කෙසේ වෙතත් අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ නව නීතිය මගින් සිදුවන්නේ එළවළු මිල ඉහළ යාමක් නොව පහත වැටීම බවයි. 
එළවළු හිඟයක් ඇති වීමට ද ඉඩ නොදෙන බව අමාත්‍යවරයා පැවසුවා. එවැනි අවධානමක් ඇතිවුව හොත් සතොස ලොරි මගින් එළවළු මිලදී ගෙන රටපුරා බෙදා හරින බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මේ අතර එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ අනිවාර්යය කිරීම හදිසියේ පැනවු නීතියක් නොවන බව ද අවධාරණය කෙරුණා.  එම නීතිය වසර 02 කට පෙර ගත් තීරණයකට අනුව වසරකට පමණ පෙර නිකුත් කළ ගැසට් නිවේදනයකින් පැනවුවක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඊට පාදක වුයේ වසර 06 කට පෙර කරන ලද පරික්‍ෂණයක් බව ද අමාත්‍යවරයා පැවසුවා.