2012-01-24

නව මැගසින් බන්ධනාගාරයේ කොටසක් රැඳවූවන්ගේ අණසකට


නව මැගසින් බන්ධනාගාරයේ කොටසක් රැඳවූවන් විසින් ඔවුන්ගේ අණසකට යටත් කරගෙන සිටිනවා. එහි සිටින වාර්තාකරු පවසන්නේ එම කොටසට ඇතුළුවීමට බන්ධනාගාර නිළධාරීන්ට හෝ පොලීසියට නොහැකි වී ඇති බවයි. රැඳවූවන් කිහිපදෙනෙකු බන්ධනාගාරයේ වහළය මත නැගී විරෝධතාවක නිරත වනවා. ඔවුන් පවසන්නේ අළුතින් පත්ව ආ බන්ධනාගාර අධිකාරීවරයා අනවශ්‍ය නීනි පනවා අත්තනෝමතිකව කටයුතු කරන බවයි.
පවතින නොසන්සුන්තාව සමනය කිරීම සඳහා හමුදාව ද කැඳවා සිටිනවා. 
මේ අතර නව මැගසින් බන්ධනාගාරයේ අද ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූවන් 29 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව එම රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප‍්‍රසාද් ආරියවංශ මහතා පවසනවා. ඔවුන්ගෙන් 25 දෙනෙකු බන්ධනාගාරයේ රැඳවූවන්. අනෙක් 4 දෙනා බන්ධනාගාර නිලධාරීන් වනවා.
මෙම සිද්ධියෙන් පසු රැඳවූවන් විසිපස්දෙනෙකු බන්ධනාගාරය වහලය මත නැගී විරෝධතාවක නිරත වනවා. බන්ධනාගාරයේ ඇති වූ ගින්නෙන් නඩු භාණ්ඩ ගබඩා කර තිබූ කාමරයකටද හානි සිදු වුණා. ගැටුම ඇති වීමත් සමග බේස්ලයින් මාර්ගයද වසා දැමූ බවයි පොලීසිය ප‍්‍රකාශ කරන්නේ. බන්ධනාගාර රැඳවූවන් විසින් නිලධාරීන් සිටින දෙසට ගල් ප‍්‍රහාර එල්ල කෙරුණු බවද වාර්තා වනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය රැඳවූවන් සිටින දෙසට කඳුළු ගෑස් ප‍්‍රහාරයක්ද එල්ල කළා.