නව මැගසින් බන්ධනාගාරයේ අද දහවල් ඇති වු නොසන්සුන්තාව මේ වන විට පහව ගොස් තිබෙනවා. නොසන්සුන්තාව ඇති වුයේ අලූතින් පත්ව ආ බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව රැඳවුවන් පිරිසක් විසින් ආරම්භ කරන ලද විරෝධතාවක් හේතුවෙන්. බන්ධනාගාර අධිකාරිවරයා අත්තනෝමතිකව කටයුතු කරන බව ඔවුන් පවසනවා.
නව මැගසින් බන්ධනාගාරයේ රැඳවුවන් සිටින වාට්ටු ගණන 07 ක්. එහි කාර්යාල කාමරයට රැඳවුවන් විසින් ගිනි තබා තිබෙනවා.
දිගින් දිගටම එල්ල වු ගල් මුල් ප්රහාර හේතුවෙන් ගිනි නිවිමේ රථ බන්ධනාගාර පරිශ්රයෙන් ඉවත් කර ගැනුණා. නොසන්සුන්තාව පාලනය කිරීමට පොලිසිය කැරළි මර්දන ඒකකය සහ හමුදාව ද කැඳවු බවයි වාර්තා වන්නේ. කැරළි මර්දන ඒකකය විසින් කඳුළු ගෑස් ප්රහාර එල්ල කළා. පසුව බන්ධනාර නිලධාරීන් විසින් රැඳවුවන් ඔවුන් රැඳවා සිටි වාට්ටුවලට ඇතුළු කෙරුණා. වහලය මත නැග සිටි රැඳවුවන්ගෙන් වැඩි පිරිසක් ද ඉන් බස්සවා වාට්ටුවලට ඇතුළු කෙරුණා. කෙසේ වෙතත් රැඳවුවන් කිහිපදෙනකු තව දුරටත් වහලය මත නැගි සිටින බවයි නෙත් වාර්තාකරු පවසන්නේ.
මේ අතර එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් නව මැගසින් බන්ධනාගාරයෙන් ඉවත් කර වෙනත් බන්ධනාගාරවලට යවා තිබෙනවා. කාර්යාල කාමරයට ගිනි තැබීම නිසා ලිපි ගොනු රැසක් විනාශ වි ඇති බවයි බන්ධනාගාර නිලධාරීන් පැවසුවේ. බන්ධනාගාර නිලධාරින් 05 දෙනකු සහ රැඳවුවන් 26 දෙනකු තුවාල ලැබුවා. ඔවුන් ප්රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලෙයි.