2012-01-11

සරසවි නොසන්සුන්


රට පුරා විශ්ව විද්‍යාල කිහිපයකම මේ දිනවල පවතින්නේ නොසන්සුන්තාවක්. කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ශිෂ්‍යන් පිරිසක් ද අද උදෑසන විරෝධතාවක නිරත වුණා. ඒ වසර දෙකක් තිස්සේ කල් දමමින් ඇති ශිෂ්‍ය සංගම් නිලවරණය වහාම පවත්වන්නැයි බල කරමින්.
ශිෂ්‍යයන වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ක්‍ෂණිකා හිරිබුරේගම මහත්මිය සමග සාකචඡාවක් ලබාදීමට පරිපාලනය එහිදී එකඟ වුණා.
මේ අතර රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසක් විසින් කැඳවන ලද පා ගමනකට පොලීසියෙන් බාධා පැමිණ තිබෙනවා. එම පා ගමන විශ්ව විද්‍යාලයේ වැල්ලමඩම පරිශ‍්‍රය ඉදිරිපිටින් ආරම්භ කිරීමට නියමිතව තිබුණේ උදෑසන 10ටයි. පා ගමන අත්හිටුවා උද්ඝෝෂන පමණක් සිදු කිරීමට ශිෂ්‍යයන් සූදානම් වන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. අධ්‍යාපන පෞද්ගලීකරණයට සහ උසස් පෙළ ප‍්‍රතිඵල දෝෂ සහගත විමට විරෝධය පළ කිරීම එහි අපේක්ෂාව වනවා.
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප‍්‍රධාන ගේට්ටුව ඉදිරිපිටද අද උදැසන උද්ඝෝෂණයක් සිදු කෙරුණා. ඒ එම විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසින්. වසා දමා ඇති වානිජ කලා සහ විද්‍යා පීඨ වහාම විවෘත කරන්නැයි පරිපාලනයේ බල කිරිම එහි අපේක්ෂාව වනවා. එම පීඨ වසා දැමුණේ විශ්ව විද්‍යාලයේ උප කුලපති එල්.ඒ. කරුණාරත්න මහතා එම ධුරයෙන් වහා ඉවත් කරන්නැයි බල කරමින් දිගින් දිගටම කෙරුණු විරෝධතා හේතුවෙන්. එලෙස කෙරුණු විරෝධතාවලට වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සහාය හිමි වූයේ නැහැ. ඒ පිළිබඳ කළ විමසීමකදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය පැවසුවේ උපකුලපතිවරයා පත් කිරීම පරිපාලනයේ තීරණයක් බවයි. එබැවින් ඊට අභියෝග කිරීමට අදහස් නොකරන බව ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර සබරගමුව විශ්ව විද්‍යාලයේද මේ වන විට පවතින්නේ නොසන්සුන්තාවක්. එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් 3 දෙනෙකුට ඊයේ රාතී‍්‍ර කිසියම් පිරිසක් පහරදී තිබෙනවා. ඔවුන් පඹහින්න රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසන්නේ. කුපිත වූ ශිෂ්‍යයන් විසින් ශිෂ්‍ය උපදේශකවරයෙකු වන වෛද්‍ය සංජීව ප‍්‍රසාද් ජයවීර මහතාගේ නිල නිවසට මෝටර් රථයට පහරදී තිබෙනවා. ශිෂ්‍යයන්ට පහරදීම සම්බන්ධයෙන්ම මෙන්ම එම දේපළ හානිය සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරන බවයි පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.