2013-08-15

අනුරපුරින් ආරම්භ වන දුර සේවා බස් රථවලින් කප්පම් ගන්නා කප්පම්කරුවකගේ දෛනික ආදායම රු. 60000ක්


අනුරාධපුර පැරණි බස් නැවතුම්පොලෙන් දුරස්ථ ගමන්වාර ආරම්භ කරන පුද්ගලික බස් රථවලින් බලහත්කාරයෙන් කප්පම් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ පුද්ගලයකු අගෝස්තු මස 16 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් කළේ අනුරාධපුර විජේපුර පොල පාර අංක 53 ලිපිනයේ ඒ සුනිල් දිසානායක යන අයයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ කොස්තාපල් (48009) සංජීව තිලක් බණ්ඩාර මහතා කියා සිටියේ පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාගේ නියෝග  මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
මෙම කප්පම් ලබාගැනීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බවද අධිකරණයට කියා සිටි සංජීව මහතා කප්පම් වශයෙන් සැකකරු දිනකට ලබාගන්නා මුදල් ප්‍රමාණය රුපියල් හැට දහසක් පමණ වන බවට මේ සම්බන්ධයෙන් කරන ලද මූලික විමර්ශනවලදී කරුණු හෙළිවිනැයිද කීවේය.
දිනකට අනුරාධපුර පැරණි බස් නැවතුම්පොළින් දුරස්ථ මාර්ග සේවාවන්වල බස් රථ ගමන් වාර 250ක් ක්‍රියාත්මක වන බවද අධිකරණයට සැලකල සංජීව මහතා එම සෑම බස් රථ ගමන් වාරයකින්ම සැකකරු රුපියල් 300 සහ 200 වශයෙන් කප්පම් ලබාගෙන ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එසේ කප්පම් වශයෙන් බස් රථවලින් ලබාගත් රුපියල් 1400ක පමණ මුදලක් සියයයේ නෝට්ටුවලින් සැකකරු සන්තකයේ තිබී පොලීසිය සොයා ගත් බවද කීවේය. 
පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට ලබාදුන් විශේෂ නියෝගයක් මත පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න මහතා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලබාදුන් උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.එම.ඩී.ජී. දීගහවතුර මහතාගේ උපදෙස් මත සැකකරු අත්අඩංගුවට ගැනිණ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.