2012-04-12

සුනාමි අවධානම තවදුරටත්

ඉන්දුනිසියාවේ උතුරු සුමත‍්‍රාවේ බටහිර වෙරළ තීරයේ ඇතිවු ප‍්‍රබල භූ කම්පනයත් සමගින් ශ‍්‍රී ලංකාවට ද අද පස්වරුවේ සුනාමි අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කෙරුණා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ රවී ජයරත්න මහතා ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාවට තවදුරටත් සුනාමි අවධානමක් පවතින බවයි.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කිරීමත් සමගම මෙම පියවර ගත් බවයි.
මේ අතර මුහුදුබඩ මාර්ගයේ බස් රථ ධාවනය ද තාවකාලිකව නතර කළ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ රට අභ්‍යන්තරයට ජනතාව රැගෙන යාම සඳහා පමණක් බස් රථ යොදා ගන්නා බවයි.
සුනාමි අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කිරීමත් සමගම දකුණු සහ නැගෙනහිර ප‍්‍රදේශවල විදුලිය විසන්ධි කිරීමට කටයුතු කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වු වහාම යළි විදුලි සැපයුම ලබා දීමට කටයුතු කරන බවයි.
මේ අතර මුහුදුබඩ ප‍්‍රදේශවලට අයත් සියලූමි රෝහල්වල කාර්ය මණ්ඩලයේ නිවාඩු අවලංගු කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ ප‍්‍රාදේශිය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලවල සේවකයන්ගේ ද නිවාඩු අවලංගු කර ඇති බවයි. 
සුමාත‍්‍රා දූපත් ආසන්නයේ සිදුවු පළමු භූ කම්පනයේ අවධානම පහව ගිය ද තව දුරටත් අවධානමෙන් පසුවිය යුතු බව ද භූ විද්‍යා සහ පතල් කැණිම් කාර්යාංශය සඳහන් කරනවා. එහි සභාපති එන්.පී. විජයානන්ද මහතා කියා සිටියේ පළමු භූ කම්පනයෙන් පසු පසුකම්පන කිහිපයක්ම සිදුවීම ඊට හේතුව බවයි.
සුනාමි පෙරහුරුවලදී ලබා දුන් පුහුණුවලට අනුව මුහුදුබඩ ප‍්‍රදේශවල වාසය කරන ජනතාව හැකි ඉක්මනින් එම ප‍්‍රදේශවලින් ඉවත් විය යුතු බව රජය පවසනවා. ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ එම ජනතාව හැකිතාක් උස් ස්ථාන කරා ගමන් කළ යුතු බවයි.
සුමාත‍්‍රා දූපත් ආසන්නයේ සිදුවු භූ කම්පන කිහිපයක් සමගින් රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරුණා. එහෙත් එම කිසිඳු රටකට මෙතෙක් සුනාමි තත්ත්වයක් බලපා නොමැති බවයි වාර්තාවන්නේ.  ශ‍්‍රී ලංකාවල ඉන්දුනිසියාව, ඉන්දියාව,  ඕස්ටේ‍්‍රලියාව, තායිලන්තය, මාලදිවයින, මැලේසියාව, පාකිස්ථානය, සෝමාලියාව,  ඕමානය, මැඩගස්කරය, ඉරානය, යේමනය, බංග්ලාදේශය, දකුණු අප‍්‍රිකාව සහ සිංගප්පූරුව යන රටවලට සුනාමි අවධානමක් පවතින බව නිවේදනය කෙරුණාග නමුත් මීට සුළු මොහොතකට පෙර පැසිෆික් සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ පසුකම්පනය හේතුවෙන් ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 05 කට පමණක් සුනාමි අවධානම තව දුරටත් පවතින බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.