2012-04-06

ආරන්‍යයේ ගෝනා මරුට - මුතුහෙට්ටිගමට ගම්වාසීන්ගෙන් චෝදනා


ගාල්ල -  ඕපාත, රජවංගල ආරණ්‍ය සේනාසන භූමිය ආශ්‍රීතව සිටි ගෝනෙකු විදුලි කම්බි යොදා අද (06) අළුයම මරාදමා ඇතැයි වාර්තා වනවා.  ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගමගේ මහතාගේ අවශ්‍යතාවක් මත මේ ගෝනා මරාදමා ඇතැයි ප‍්‍රදේශවාසීන් චෝදනා කරනවා. 
අදට (06) යෙදී තිබෙන බක් පුන් පොහෝ දිනයේදී සිදුවූ මේ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් එම ආරණ්‍ය සේනාසනවාසී භික්ෂූණ් වහන්සේ නමක් කියා සිටියේ මේ ගෝනා ආරන්‍යය ආසන්නයේ හැදීවැඩුණු හීලෑ එකෙක් බවයි. එසේම දුර්ලභ ගණයේ ගෝනකු බවද එහිමියෝ පැවසුවා. ගම්වැසියෙක් කියා සිටියේ මෙම ගෝනා මැරීමට විදුලි කම්බි ඇද්දේ යැයි සැක කරන පුද්ගලයා නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ළඟින්ම ඇසුරු කරන්නෙක් බව තහවුරු කරගෙන ඇති බවයි. එසේම බක් පුන් පොහෝ දින මෙවැනි නින්දිත වැඩක් කිරීම තරයේ හෙළා දකින බවද අදහස් දැක්වූ ගම්වැසියන් කියා සිටිනවා.
මෙහිදී ගම්වැසියන් චෝදනා කරන නිශාන්ත මුතුහෙට්ටිගම මහතාටද අප ඇමතුමක් ලබාගත්තා. අපි එහිදී ඔහුගෙන් විමසා සිටියේ ගම්වාසීන් එල්ල කරන චෝදනාව පිළිබඳවයි. එහිදී ඔහු කියා සිටියේ එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් තමන් ඊට කිසිදු ආකාරයකින් සම්බන්ධ නැති බවත් තමාගේ කිසිම කෙනෙකුවත් ඊට සම්බන්ධ නැති බවත් එම චෝදනාව කරන්නවුන්ම අදාළ චෝදනාව භාර ගත යුතු බවත්ය. කුකුළු මස්වත් තම නිවසට නොගෙන එන බවයි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා වැඩිදුරටත් කියා සිටියේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.