2012-10-03

පස්ස පේලියේ ඉඳන් බර්ටි උතුරු මැද හොල්ලයි

උතුරු මැද පළාත් සභාවට සභාපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ඊයේ පැවැති රහස් ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් නම් කළ අපේක්ෂකයා වැඩි ඡන්ද 11කින් පරාජයට පත්විය. ජයග්‍රහණය කළේ විපක්ෂයෙන් යෝජනා කළ ආණ්ඩු පක්ෂයේ පළාත් සභා මන්ත්‍රිවරයකු වූ ටී.එම්.ආර්. සිරිපාල මහතායි. සිරිපාල මහතාට ඡන්ද 21ක් ලැබුණු අතර පරාජයට පත් සන්ධාන මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල මහතාට ලැබුණේ ඡන්ද 10ක් පමණි.
පසුගිය පළාත් සභා ඡන්දයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රි ධුර 21ක් හිමිවූ අතර එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ මන්ත්‍රි ධුර 11කි. ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රි ධුරයක් හිමිවිය. සභාපතිවරයා තෝරා ගැනීමේ රහස් ඡන්දයේදී විපක්ෂයෙන් යෝජනා වූ අපේක්ෂකයාට ඡන්ද 21ක් ලැබීමද විශේෂත්වයකි.
සභාපතිවරයා ලෙස තේරී පත්වූ සිරිපාල මන්ත්‍රිවරයාගේ නම යෝජනා කළේ එජාප මන්ත්‍රි අනිල් රත්නායක මහතාය. ස්ථිර කළේ එජාප මන්ත්‍රි ඩී.එම්. අමරතුංග මහතා විසිනි. උතුරු මැද පළාත් සභාවේ මංගල සැසිය ඊයේ (2 දා) පෙරවරු 10.00ට පළාත් සභා මන්දිරයේදී ආරම්භ වුණේ පළාත් සභාවේ ලේකම් එච්.එම්.එම්. අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙනි. සභාව ආරම්භ කළ බව නිල වශයෙන් නිවේදනය කළ සභා ලේකම් අමුණුගම මහතා පළමුව පළාත් සභාවේ සභාපති ධුරය සඳහා මන්ත්‍රිවරයකුගේ නමක් යෝජනා කරන ලෙස සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන්ට දැනුම් දුන්නේය.
උතුරු මැද පළාත් නව අධ්‍යාපන අමාත්‍ය පේෂල ජයරත්න මහතා නැඟී සිටිමින් පළාත් සභාවේ නව සභාපතිවරයා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතාගේ නම යෝජනා කළේය.
එම යෝජනාව ස්ථිර කළේ උතුරු මැද පළාත් නව සෞඛ්‍ය අමාත්‍ය එච්.බී. සේමසිංහ මහතායි. ඒත් සමඟම නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රි ටී.එම්.ආර්. සිරිපාල මහතාගේ නම යෝජනා විය. පළාත් සභාවේ සභාපති ධුරය සඳහා මන්ත්‍රිවරුන් දෙදෙනකුගේ නම් යෝජනා වී තිබීම නිසා සභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කළ බව පළාත් සභා ලේකම් අමුණුගම මහතා සභාවට යළි නිවේදනය කළේය.
ඒ අනුව සභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වුණේ උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් චන්ද්‍රා කරුණාරත්න සහ පළාත් ඉඩම් කොමසාරිස් සරත් විජේසිංහ යන මහත්ම මහත්මීන්ගේ අධීක්ෂණය යටතේය.
රහස් ඡන්දයක් ප්‍රකාශ කිරීම නිමවීමෙන් පසුව ප්‍රකාශ වූ ඡන්ද ගණනය කර එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් පළාත් සභා ලේකම්වරයා නිවේදනය කළේ ආණ්ඩු පක්ෂය යෝජනා කළ පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජනතා සන්ධාන මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතා ඡන්ද 10ක් ලබාගෙන ඇති බවත් විපක්ෂය යෝජනා කළ සන්ධාන මන්ත්‍රි ටී.එම්.ආර්. සිරිපාල මහතා ඡන්ද 21ක් ලබාගෙන ඇති බවයි.
ඒ අනුව උතුරු මැද පළාත් සභාවේ නව සභාපතිවරයා ලෙස විපක්ෂය යෝජනා කළ ඡන්ද 21 ක් ලබාගත් ටී.එම්.ආර්. සිරිපාල මහතා තේරීපත්ව ඇති බව පළාත් සභා ලේකම්වරයා නිල වශයෙන් නිවේදනය කළේය. උතුරු මැද පළාත් සභා ඉතිහාසයේ සභාපතිවරයකු තෝරා ගැනීම සඳහා පැවැත්වූ ඡන්ද විමසීම් අවස්ථා අතරින් වැඩිම වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේ මෙවර සභාපති ධුරයට පත් වූ ටී.එම්.ආර්. සිරිපාල මහතායි. පළාත් සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රි ජයන්ත මාරසිංහ මහතා තේරී පත්ව ඇති බවද ලේකම්වරයා නිල වශයෙන් නිවේදනය කළේය.
උතුරු මැද හිටපු මහ ඇමැති හා පළාත් සභා මන්ත්‍රි බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා සභාව ආරම්භ වී විනාඩි 3ට පසුව සභාවට පැමිණ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් සඳහා වෙන්කොට තිබූ අසුන් පෙළෙහි අවසානම අසුනේ අසුන්ගෙන සිනාසෙමින් විනෝදයෙන් සිටින අයුරු දක්නට ලැබිණි. උතුරු මැද නව මහ ඇමැති එස්.එම්. රංජිත් මහතා සභා ගර්භයට පැමිණි අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රිවරයකු අසුන්වලින් නොනැඟිට සිටි අතර හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් මහතා සභා ගර්භයට පිවිසෙද්දී ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් සිය අසුන්වලින් නැඟිට දිසානායක මහතාට ගෞරව දක්වන අයුරු දක්නට ලැබීම විශේෂත්වයකි.
උතුරු මැද පළාත් සභාවේ නව විපක්ෂ නායක කිංස් නෙල්සන් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක චන්දිම මහින්දසෝම යන මහත්වරුන් ඇතුළු විපක්ෂ මන්ත්‍රිවරුන් සියලු දෙනාම සභාවට පැමිණ සිටියහ. ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මන්ත්‍රිවරයාද පැමිණ සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ෂෙහාන් සේමසිංහ සහ චන්ද්‍රසේන මුතුකුමාර යන මහත්වරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක්ද මහ ජනතාව විශාල පිරිසක්ද නව සැසි වාරය දැක බලා ගැනීමට පැමිණ සිටියහ. සභාව යළි  රැස්වීම අද පෙරවරු 10.00 දක්වා කල් තැබිණි.
උපුටා ගැනීම - මව්බිම පුවත්පත

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.