2013-01-21

සජිත්ගේ සහ මර්වින්ගේ අනාගතයට මොකද වෙන්නේ....


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් අද රැස්වීමට නියමිතයි. අමාත්‍ය මර්වින් සිල්වා මහතාගෙන් හිස් වූ කැළණිය සංවිධායක ධූරයට අනුප‍්‍රාප්තිකයෙකු පත්කිරීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡාවට ගැනෙනු ඇති. අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් සිදුකිරීමට ද සාකච්ඡා කෙරෙණු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. කෙසේවෙතත් එම ඇතැම් ආරංචිවලින් පැවසෙන්නේ අමාත්‍ය මණ්ඩලය සම්පූර්ණයෙන් නොව අමාත්‍ය ධූර කිහිපයක පමණක් සංශෝධන සිදුවනු ඇති බවයි. 
අමාත්‍ය මර්වින් සිල්වා මහතාගෙන් හිස් වූ කැළණිය සංවිධායක ධූරයට බැසිල් රාජපක්ෂ මහතා හෝ මාලනී ෆොන්සේකා මහත්මිය පත්කෙරෙණු ඇතැයිද දේශපාලන ආරංචි පවසනවා. මර්වින් සිල්වා මහතාටද වෙනත් සංවිධායක ධූරයක් ලබාදෙනු ඇති බවයි එම ආරංචිවලින් වැඩිදුරටත් පැවසෙන්නේ. කෙසේවෙතත් තමන් කැළණිය හැර නොයන බවද කැළණිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූයේ තාවකාලික බවද මර්වින් සිල්වා මහතා කොහොල්විල ප‍්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකදී කියා සිටියා.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද ප‍්‍රධාන මාතෘකාවක් වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් කිහිපදෙනෙකුගේ විනය විරෝධි ක‍්‍රියාකාරකම්. 2010 මහ මැතිවරණයේදී අලියා ලකුණින් තරග කර පාර්ලිමේන්තුවට පිවිසි සියලූදෙනා දෝෂාභියෝගයට විපක්ෂව ඡන්ද ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබුණා. එහෙත්, දැන් ආණ්ඩුවට එක්ව සිටින එම පක්ෂයේ මන්ත‍්‍රිවරුන්ගෙන් ඊට එකඟව ක‍්‍රියා කළේ ජේ.සී. රංගා මහතා පමණයි. මනූෂ නානායක්කාර, උපේක්ෂා ස්වර්ණමාලි යන මහත්ම මහත්මීන් මෙන්ම අලියා ලකුණින් තරග කර පාර්ලිමේන්තුවට පිවිසි ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ සාමාජිකයන්ද ඊට එකඟ වූයේ නැහැ. අද රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඔවුන් සම්බන්ධව සාකච්ඡා කරන බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවා. 
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක උප නායක හා ජාතික සංවිධායක ඇතුළු ප‍්‍රධාන නිළයන් කිහිපයක් දැනට තිබේනනේ පුරප්පාඩුවයි. එම නිළයන් සඳහා ඉකුත් වසරේ කෙරුණු පත්කිරීම් කල් ඉකුත් වී තිබීම ඊට හේතු වනවා. ඊට සුදුස්සන් පත්කිරීම ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අද සිදුකිරීමට නියමිතයි. උප නායක හෝ ජාතික සංවිධායක යන නිළයන්ගේ වෙනසක් සිදු නොවනු ඇතැයිද එහෙත්, නියෝජ්‍ය නායක නිළයට කෙනෙකු පත්කිරීම කල්යනු ඇතැයිද දේශපාලන ආරංචි  පවසනවා. 
නියෝජ්‍ය නායක ලෙස මෙතෙක් කටයුතු කළ සජිත් පේ‍්‍රමදාස මහතා සම්බන්ධයෙන් විනය කඩ කළේ යැයි චෝදනාවක් පැවතීම ඊට හේතුවයි. ඇතැම් විට නියෝජ්‍ය නායක නිළයන් දෙකක් ඇති කෙරෙණු ඇතැයිද ඉකුත් දිනවල රාවයන් පැවතුණා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.