2013-07-30

සමස්ත ATM ජාලයම පොදුවේ සැමට


මෙරට බැංකු හා මූල්‍යායතනවල ගනුදෙනුකරුවන්ට ඕනෑම ටෙලර් යන්ත්‍රයක් මගින් ගනුදෙනු කිරීමට හැකියාව නුදුරේදීම ලබාදෙන පොදු පත් හා ගෙවීම් පද්ධතියේ (Common Card and Payment Switch (CCAPS) මූලික අදියර ලංකා ක්ලියර් සමාගම විසින් දියත් කෙරුණා. මේ අනුව, මෙරට සියළුම විද්‍යුත් ගනුදෙනු එකතු කරන තනි යටිතල පහසුකම් පද්ධතිය වන මෙහි මුල් අදියරට ලංකා බැංකුව හා මහජන බැංකුව සම්බන්ධ වී සිටින අතර බැංකු දෙක සතුව දිවයින පුරා විහිදුණු ස්ව්‍යංක්‍රීය ටෙලර් යන්ත්‍ර 900 ක් පමණ තිබේ. මෙම බැංකු දෙක මෙම ගෙවීම් පද්ධතියට එක්වීම නිසා ඉදිරියේදී ලංකා බැංකුවේ ගනුදෙනු කරුවන්ට මහජන බැංකුවේ ටෙලර් යන්ත්‍ර වලින්ද මහජන බැංකුවේ ගනුදෙනු කරුවන්ට ලංකා බැංකුවේ ටෙලර් යන්ත්‍ර වලින්ද ගනුදෙනු කිරීමේ අවස්ථාව උදාවනු ඇති.
මේ පිළිබඳව අදහස් දක්වමින් මෙරට ජාතික ගෙවීම් යටිතල පහසුකම් සපයන්නා වන ලංකා ක්ලියර් සමාගම පවසන්නේ මෙම පොදුපත් හා ගෙවීම් පද්ධතිය (Common Card and Payment Switch (CCAPS)) ජාතික ගෙවීම් පද්ධතිය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවත් මෙය මගින් මෙරට අනාගත ඉලෙක්ට්‍රොනික ගෙවීම් වලට අවශ්‍ය වැදගත්ම යටිතල පහසුකම නිර්මාණය කරන බවයි. මෙම පොදු සේවාවට සම්බන්ධ වන බැංකුවලට හා මූල්‍යායතනවලට පරිමාණානුකූල පිරිමැසුම් හා ඉහළ ප්‍රතිලාභ ලබාගත හැකිය. ඉදිරියේදී ලංකා බැංකුව හා මහජන බැංකුවට අමතරව තවත් බැංකු මෙම පද්ධතියට එක්වීමට නියමිත බව ලංකා ක්ලියර් පවසනවා. 
මෙම පොදු පද්ධතිය නිළ වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසුවේ ලංකාව පුරාම ස්ව්‍යංක්‍රීය ටෙලර් යන්ත්‍ර 3000 ක් පමණ තිබෙන බවත් මෙම පද්ධතියේ අරමුණ වන්නේ සෑම බැංකුවකම ගනුදෙනුකරුවන්ට මේවායින් පොදුවේ ගනුදෙනු කිරීමට අවස්ථාව සැලසීම බවයි. ලංකා ක්ලියර් පවසන්නේ මෙම ටෙලර් යන්ත්‍ර 3000 එකම පද්ධතියකට සම්බන්ධ වී නොමැති නිසා මේ වනවිට ඒවායේ නිශ්කාශන කටයුතු සිදුවන්නේ ඇමරිකාව වැනි රට වලදී බවයි.
මේ සඳහා පිරිවැයක් යන නිසා ටෙලර් යන්ත්‍ර වලින් මුදල් ගැනීමේදී අමතර ගාස්තුවක් ගෙවීමට මේ වනවිට ගනුදෙනු කරුවන්ට සිදුවී තිබේ.
නමුත්, මෙම පොදු පද්ධතිය තුළින් ඉදිරියේදී මෙම ටෙලර් යන්ත්‍ර එකම පද්ධතියකට රැගෙන ඒමේදී මෙම නිශ්කාශන කටයුතු ලංකාවේදීම සිදුකළ හැකි නිසා ගනුදෙනු කරුවන්ට මෙම අමතර ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවේ. මේ නිසා, ලංකා ක්ලියර් පවසන්නේ මේ තුළින් පිට රටවලට නිශ්කාශන කටයුතු සඳහා ඇදීයන මුදල්ද ලංකාවට ඉතිරි කරගත හැකි බවයි.
මේ වනවිට, සාර්ක් ගෙවීම් කවුන්සලයට අයත් රටවල්ද මෙවැනිම යටිතල පහසුකම් පද්ධති ගොඩනගමින් සිටින නිසා ලංකාවේ පද්ධතිය එම පද්ධති වලට ඉදිරියේදී සම්බන්ධ කිරීමටද සැලසුමක් ඇත.
එවිට, එම රටවල ඕනෑම ATM යන්ත්‍රයකින් ලංකාවේ ඕනෑම ATM පතක් භාවිතා කර මුදල් ලබාගැනීමට අවස්ථාව හිමිවේ. මැලේසියාවේ MEPS මූලික කොටගත් ගනුදෙනු ක්‍රියාවලී ජාලයට මේ වනවිට සිංගප්පූරුව, ඉන්දුනීසියාව, තායිලන්තය, චීනය හා මැලේසියාව සම්බන්ධ වී තිබෙන අතර එම රටවල වැසියන් ඉහත පැවසූ ආකාරයේ ප්‍රතිලාභ මේ නිසා අත්පත් කරගෙන සිටී. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.