2013-07-31

මට තරම් කැපිලි කාටවත් නෑ - සජිත් කියයි


පක්‍ෂයේ තමන්ට තරම් කැපිලි කෙටිලි, අසාධාරණකම් සිදුවූ තවත් කෙනකු නොමැති බවත්, පිල් මාරු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා හොඳම කාරණා ඇත්තේ තමන්ට බවත් හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ දෙබරවැව කලාපීය බල ප්‍රදේශයේ සමිතිවලට ආධාර ලබාදීමේ උත්සවයක් සඳහා සහභාගි වෙමින් ප්‍රේමදාස මහතා මේ බව අවධාරණය කෙළේය. ඒ මහතා එහිදී මෙසේද කීය.
පක්‍ෂයේ මට තරම් කැපිලි කෙටිලි, අසාධාරණකම් සිදුවුණු කෙනෙක් තවත් නැති තරම්. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරයට පත්වූ මා ඒ තනතුරින් ඉවත් කළා. මගේ ප්‍රජා සේවාවන්වලට තහංචි වැටුණා.
මෙවර වයඹ සහ මධ්‍යම පළාත් සභා නාම යෝජනා මණ්ඩලවලින් මා ඉවත් කර තිබෙනවා. මැතිවරණ ව්‍යාපාරයේ කථික ලැයිස්තුවෙන්ද මේ වන විට මා ඉවත් කර තිබෙනවා. එහෙත් මා ඒ කිසිවකින් නොසැලුණු බව කිව යුතුයි. ඉන් මට පෞද්ගලිකව සිදුවිය හැකි පාඩුව ඉතාමත් අල්පයි. ඒ බව මේ රටේ එක්සත් ජාතික පාක්‍ෂිකයන් මෙන්ම පොදු ජනතාවත් දන්නවා. පිල්මාරු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා හොඳම කාරණා ඇත්තේ මටයි. එහෙත් විසඳුම එය නොවෙයි.
සියලු ප්‍රහාර, පළිගැනීම්, කොන්කිරීම් පරිණත මනසකින් යුතුව භාර ගෙන ඒවා විඳදරා ගැනීමේ ශක්තිය මා සතුයි. ප්‍රහාර, පළිගැනීම් හා කොන් කිරීම්වලින් අපේ ජනතා හිතවාදී ගමන නැවැත්විය නොහැකියි. එයින් සිදුවන්නේ අප වඩ වඩාත් ශක්තිමත් වීමයි. ජනතාව වඩ වඩාත් අප වටා ඒකරාශි වීමයි. පිල්මාරු කිරීමෙන් සිදුවන්නේ අප ඉතා කැපවීමෙන් හා අසීරුවෙන් ගොඩනඟා ගත් දේශපාලන ප්‍රතිරූපය විනාශ වීම පමණයි. එය දේශපාලන වශයෙන් අපේ චරිතය කෙලෙසා ගැනීමට සමානයි.
දයාසිරි ජයසේකර යනු අපේ පක්‍ෂය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළ ඉදිරියටත් සුවිසල් මෙහෙවරක් කළ හැකිව තිබූ කාර්යශූර හා ජනප්‍රිය තරුණයෙක්. තමන් නියෝජනය කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම ජනප්‍රසාදය ලැබූ ඔහු දිස්ත්‍රික්කයේ හිටපු නායකයායි. ඔහුට පක්‍ෂයෙන් බරපතළ අසාධාරණකම් රැසක් සිදුවුණු බව අප කිසිසේත් අමතක නොකළ යුතුයි. ඒවා නිවැරැදි කිරීම වෙනුවෙන් මැදිහත් වීමට අප කොතෙකුත් උත්සාහ කළත් අවාසනාවට ඒ සියල්ල ව්‍යර්ථ වුණා. කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතා ගත් තීරණයට මා පෞද්ගලිකව එකඟ නොවන බව කිව යුතුයි. ඔහුට තවත් ටිකක් විඳදරා ගෙන සිටින්නට ඉඩකඩ තිබුණා යැයිද හෙතෙම කීය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.