2013-09-03

ෆොන්ටෙරා දැන්වීමට පැනවූ අතුරු තහනම් නියෝගය ආයෙත් දීර්ඝ කෙරේ


ෆොන්ටෙරා බ්‍රැන්ඩ්ස්‌ ලංකා සමාගම නවසීලන්තයෙන් මෙහි ගෙන්වා බෙදාහරින කිරිපිටි 100% ක්‌ම ශරීර සෞඛ්‍යයට හානිදායක නොවන බව සඳහන් වෙළෙඳ දැන්වීම් පළකිරීම වළක්‌වමින් අභියාචනාධිකරණය එම සමාගමට පනවා තිබූ අතුරු නියෝගය මෙම 18 වැනිදා දක්‌වා ඊයේ (02 වැනිදා) දීර්ඝ කළේය.
ෆොන්ටෙරා සමාගමේ කිරිපිටිවලට ඩී. සී. ඩී. නමැති විෂ ද්‍රව්‍යයක්‌ මිශ්‍රවී ඇති බැවින් ඒවා මෙරටට ගෙන්වීමත් වෙළෙඳ පොළේ අළෙවි කිරීමත් තහනම් කරන්නැයි ඉල්ලා මාතලේ සාලිය සමරසිංහ නමැති අයකු ගොනු කර තිබූ පෙත්සමකින් කළ ඉල්ලීමක්‌ අනුව එම සමාගමට අතුරු නියෝගයක්‌ පනවා තිබිණි.
අභියවනාධිකරණයේ සභාපති ශ්‍රී ස්‌කන්ධරාජා සහ මාලනී ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ (2 වැනිදා) මෙම පෙත්සම යළි කැඳවූ අතර එකී අතුරු නියෝගය දීර්ඝ කළේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ උපුල් ජයසූරිය මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.
ෆොන්ටෙරා සමාගම ගෙන්වූ පිටි කිරිවල වස විස කිසිවක්‌ නැති බව මෑතදී කළ රසායනාගාර පරීක්‌ෂණවලින් හෙළිවීමෙන් අනතුරුව ඒවා පරිභෝජනය සඳහා නිදහස්‌ කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කොට ඇති බැවින් වෙළෙඳ දැන්වීම් පළකිරීමට පනවා තිබෙන තහනම ඉවත්කරන ලෙස එම ස්‌ථානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට විරුද්ධ වෙමින් අධිනීතිඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ පරීක්‌ෂාවට භාජනය කර ඇත්තේ කිරිපිටි තොග 07 ක සාම්පල් පමණක්‌ බවයි. කලින් ගෙන්වූ කිරිපිටි තවම පරීක්‌ෂණයට භාජනය කර නැති බවත් කීය. මෙම 20 වැනිදා පෙත්සම යළි කැඳවනු ඇත.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.