2013-11-16

ටෙස්ට් පිටියෙන් සමුලත් සචින් භාරත රත්න සම්මානයට සුදුස්සෙක් වෙයි

ඉන්දියාවේ සිවිල් පුරවැසියෙකුට පිරිනැමෙන ඉහළම සම්මානය ලෙස සැලකෙන භාරත රත්න සම්මානය සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ට අද හිමිවුණා. එරට අග‍්‍රාමාත්‍ය කර්යාලය නිල වශයෙන් මේ බව නිවේදනය කළේ ටෙන්ඩුල්කාර් අද සිය ටෙස්ට් දිවිය නිමාකර පැය කිහිපයකට පසුවයි. ඉන්දියාවේ ක‍්‍රීඩකයෙකුට භාරත රත්න සම්මානය හිමි වූ ප‍්‍රථම අවස්ථාව ද මෙයයි. එමෙන්ම සචින් ටෙන්ඩුල්කාර් මෙම සම්මානය හිමි වූ ළාබාලතම පුද්ගලයා වීමද විශේෂත්වයක්. මීට පෙර ඔහුට පද්ම විභූෂණ, රජිව් ගාන්ධි හා පද්ම ශ‍්‍රී යන ඉන්දියාවේ සිවිල් පුරවැසියෙකුට හිමිවිය හැකි ඉහළ පෙළේ සම්මාන කිහිපයකින් ද පිදුම් ලැබුවා. 
ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් අද ටෙස්ට් ක‍්‍රිකට් කී‍්‍රඩාවට සමුදුන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග මුම්බායි හි පැවති දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය දින 3ක් තුළ නිමාවීම හේතුවෙන්. එම තරගයේදී ඉන්දීය කණ්ඩායමට ඉනිමක හා ලකුණු 126ක ජයක් හිමිවුණා. ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 405ක් රැස්කළ අතර, සචින් සිය අවසන් ටෙස්ට් ඉනිම ලෙස මෙහිදී ලකුණු 74ක් රැස්කළා. බටහිර ඉන්දීය කොදෙව්වන් පළමු ඉනිමේදී රැස්කළේ ලකුණු 182ක් පමණයි. ඔවුන්ගේ දෙවන ඉනිම ද අද දිනයේ ලකුණු 187කට සීමා වුණා. 
ඒ අනුව සචින්ගේ 24 වසරක ටෙස්ට් ක‍්‍රිකට් දිවිය අදින් නිමා වූ අතර, සචින්ගේ අවසන් ටෙස්ට් තරගය නැරඹීම සඳහා මුම්බායි වංකඩෙයි ක‍්‍රීඩා පිටියට පැමිණ සිටි ක‍්‍රිකට් ලෝලීන්ගෙන් පේ‍්‍රක්ෂකාගාර පිරී ඉතිරී පැවතුණා. මෙය ටෙන්ඩුල්කාර් සහභාගි වූ 200වන ටෙස්ට් තරගය වූ අතර එවැනි දස්කමක් සිදුකළ ලොව පළමු ක‍්‍රීඩකයා ලෙෂ ද ඔහු ඉතිහාසයට එක්වුණා. ටෙස්ට් තරග 200ක් තුළ ටෙන්ඩුල්කාර් රැුස්කළ මුළු ලකුණු සංඛ්‍යාව පහළොස් දහස් නවසිය තිස් එකක් වූ අතර, ඊට ශතක 51ක් සහ අර්ධ ශතක 68ක් ඇතුළත් වුණා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.