2014-11-21

මැරඩෝනාගෙන් පෙම්වතියට නීති විරෝධි ප්‍රහාරයක්

ඔයා මොනවද ‍‍ෆෝන් එක බලාගෙන කරන්නේ..?’

‘ඇයි මට මගේ ෆෝන් එක බලන්න බැරිද..?’

ඇගේ පිළිතුරෙන් කෝපයට පත් ඔහු වහා ‍සෝෆාවෙන් නැගිට ඇය වෙත ගියේය.

1986 ලෝක පාපන්දු ශූරතාව ආජෙන්ටිනාවට දිනා දුන් එරට අසහාය පාපන්දු වීරයා ‘දෙවියන්ගේ හස්තය’ ඇය වෙත එල්ල කළේය. (1986 පාපන්දු තරගාවලියේ එංගලන්තය සමග පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේ දී ආජන්ටිනාවට ජය හිමිවූයේ ඔහුගේ අතෙහි වැදී ගිය නීතිවිරෝධී ‍‍ගෝලයෙනි.

අපරික්ෂාකාරී තරග විනිසුරු එය ගෝලයක් ලෙස නම් කළ අතර පසුව ගෝල 2-1කින් තරගය ජයගත් ආජෙන්ටිනාව අවසන් පූර්ව වටයට එක්විය. පාපන්දු ලෝකය කැළඹූ ඒ ආන්දෝලනාත්මක සිදුවීම විවේචනය කළ මාධ්‍යවේදිහූ පන්දුව ගැටුණු ඔහුගේ අත ‘දෙවියන්ගේ හස්තය’ නමින් හඳුන්වනු ලැබූහ.

‘අනේ නවත්තන්න ඩියාගෝ..! මට ගහන්න එපා..!’ තමාට පහරදීමට උත්සාහ දරන ඔහු ඉදිරියේ ඇය බැගෑපත් වූවාය.

පාපන්දු ලෝකය උඩුයටිකුරු කළ මේ ලෝක පූජිත ක්‍රීඩකයා 53 හැවිරිදි ඩියා‍ගෝ මැරඩෝනාය.

ආජෙන්ටිනාවේ බුවනෝස් අයර්ස් හී පිහිටි තම නිවෙසේ දී මැරඩෝනා සිය 22 හැවිරිදි පෙම්වතිය රෝසියෝ ඔලීවාට පහර දී ඇය අත තිබූ ජංගම දුරකතනය උදුරා වීසිකළ පුවත පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේය. මැරඩෝනා සිදු කළ එම පහරදීම මාධ්‍යයට අනාවරණය වූයේ ඔලීවා සිය ජංගම දුරකතනය එම සිදුවීම වීඩියෝ ගත කොට එය වෙබ් අඩවි කිහිපයකට මුදා හැර තිබූ බැවිනි.

තත්පර තිහකට සීමා වූ මේ වීඩියෝ පටය නිකුත් විමෙන් පසුව මැරඩෝනා බුවනෝස් අයර්ස් නුවර දී මාධ්‍යවේදීන් ඇමතුවේය.

‘මම ඇගේ අත තිබූ ජංගම දුරකතනය උදුරා වීසි කළා තමයි. ඒත් දිවුරලා කියන්නම් මම කවදාවත් ගැහැනුන්ට ගහන්නෙ නෑ. අපි අතර බහින්බස්වීමක් වුණා එච්චරයි.’ මැ‍රඩෝනා මාධ්‍යවේදීන්ට පැවැසුවේය.

වසර කිහිපයක සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පදිංචිව සිටින මැරඩෝනා එහි ක්‍රීඩා ප්‍රවර්ධන නිලධාරියකු ලෙස රැකියාවක නිරතව සිටී. ඔහු පසුගියදා සිය මවුරට බලා ගියේ රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා සිය පියාගේ සුවදුක් බැලීමටය. ඉහත කී සිදුවීම වූයේ ඒ අතරතුරය.

හිටපු පාපන්දු ක්‍රීඩිකාවක වන ඔලීවා හා මැරඩෝනා අතර පැවැති පෙම් සම්බන්ධතාව ප්‍රසිද්ධ රහසකි. ඇය කෙටි කලක් ඩුබායි නගරයේ ඔහු සමග පදිංචිව සිටි බව ද නොරහසකි. එහෙත් පසුගිය කාලය පුරා දෙදෙනා අතර වරින් වර ගැටුම් ඇතිවූ බව ඇගේ මිත්තණිය පවසන්නීය. ඇය පවසන පරිදි මැරඩෝනා මානසික රෝගියෙකි. ඔහු කාන්තාවන්ට පහරදීමෙන් මානසික සුවයක් ලබාගන්නා බව ඇය කියයි.

මේ අතර වීඩියෝ පටය පිළිබඳ සිදුවීම කරළියට පැමිණීමත් සමග මැරඩෝනා මාධ්‍ය හමුවේ සිය පෙම්වතියට ‍‍චෝදනා එල්ල කරමින් කියා සිටියේ ඇය ඩුබායි නුවර සිටි කාලයේ තමා සතුව තිබූ වටිනා රන් ආභරණ හා මුදල් සොරාගත් බවකි. ආජෙන්ටිනාවේ ටැබ්ලොයිඩ් පුවත්පත්වලට කදිම අමුද්‍රව්‍යයක් බවට පත්වූ මේ සිදුවීම් පෙළ එරට පුවත්පත් අලෙවිය ඉහළ දැමීමට සමත්විය. මැරඩෝනා සිය පෙම්වතියට පහරදුන් පළමු අවස්ථාව මෙය නොවන බවත් එරට මාධ්‍ය පවසයි.

පසුගිය මැයි මාසයේ ඔහු ඔලීවා සමග ඩුබායි නුවර සිට ආජෙන්ටිනාව බලා ගුවන්ගත වෙමින් සිටියදී ද ඇයට පහරදිමට උත්සාහ දරා තිබේ. ගුවන්යානයේ ව්‍යාපාරික පන්තියේ ඔවුන් සමග සිටි සෙසු මගීහු ද මේ සිදුවීමෙන් දැඩි කළබලයට පත්වූහ. ඒ මොහොතේ මැරඩෝනා සන්සුන් කිරීමට ඔවුන් වෙත පැමිණි ගුවන් සේවිකාව ද ඔහු පහරදීමට උත්සාහ දැරීමත් සමග ගුවන් යානය පුරා දැඩි නොසන්සුන්තාවක් පැතිරී ගියේය.

34 හැවිරිදි ගුරුවරියක වූ වෙරෝනිකා ඔජේඩා සමග වසර 8ක් පෙමින් වෙලී සිටි මැරඩෝනා නව යොවුන් වියේ පසුවන ඔලීවා සමග පෙම් සම්බන්ධතාව ගොඩනගා ගෙන ඇත්තේ පසුගිය වසරේදීය. ඒ වනවිට ඔ‍ජේඩා සිවුමසක ගැබිණියකි. ඇය මැරඩෝනාට දාව පුතකු බිහිකළේ මේ වසරේ මැද භාගයේදීය. මැරඩෝනා හා ඔලීවා අතර ගුවන්යානයේ ඇතිවූ කලබගෑනියට මුල්වූයේ ඔජේඩාගේ දරු ප්‍රසූතියයි. ඔහු සිය රට බලා ගමන් කරමින් සිටියේ ඇගේ දරු ප්‍රසූතිය සඳහා බව ඔහු ඔලීවාට පැවසුවේ ගුවන්යානය තුලදීය.

කලහකාරී හැසිරීම සම්බන්ධව අපකීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන මැරඩෝනා මීට පෙර බුවනෝස් අයර්ස් නුවර දී මාධ්‍යවේදියකුට පහරදුන් සිදුවීමක් ද මේ සිදුවීම් පෙළත් සමග කරළියට පිවිසියේය.

ඔහු මාධ්‍යවේදියාට පහර දුන්නේ සිය හිටපු පෙම්වතිය වූ ඔජේඩාට එම මාධ්‍යවේදියා ඇසක් ඉඟිමරා කළ විහිළුවක් දුරදිග යාමෙනි. එහෙත් ඊට මාස කිහිපයකට පසුව බුවනෝස් අයර්ස් නුවර තරු පහේ හෝටලයක් ඉදිරිපිට දී ඇය ද මැරඩෝනාගේ පහර කෑමට ලක්වූවාය. මැරඩෝනාගේ පහරදීමට ලක්වන විට ඇය ගැබිණියකව සිටියාය. ඔහු කෝපයට පත්ව සිටියේ ඇගේ ගැබ් ගැනීමට හේතුව ඔහු බවට කළ ‍චෝදනාව හේතුවෙනි. කෙසේවුවත් අවසානයේ ඇගේ පුතුට සිය නම තබමින් දරු සිඟිත්තාගේ පියා තමා බව ඔහු පිළිගත්තේය.

මීට පෙර ක්ලෝඩියා විලාෆේන් සමග විවාහ වී සිටි මැරඩෝනාට ඩැල්මා සහ ඩිනෝරා නමින් දියණියන් දෙදෙනෙකි. මීට අමතරව අනියම් පෙම් සම්බන්ධතා කිහිපයක් මත ඔහුට ජේන් නමින් තවත් දියණියක් ද ඩියාගෝ නමින් පුතෙක් ද සිටිති. ජේන්ගේ මව බුවනෝස් අයර්ස් හී රාත්‍රී සමාජ ශාලාවක සේවයේ නිරතව සිටින අතර ඩියාගෝගේ මව ඉතාලි ජාතික මෝස්තර නිරූපිකාවකි. ඒ හැරුණුවිට කියුබාවේ සහ ආජෙන්ටිනාවේ කාන්තාවන් දෙදෙනකු සමග ද ඔහු ලිංගික සම්බන්ධතා පවත්වා තිබේ.

මේ වනවිට ඔවුහු ද මවුවරුන් වෙති. තම දරුවන්ගේ පීතෘත්වය ප්‍රතික්ෂේප කළ මැරඩෝනාට එරෙහිව ඔවුන් දැනටමත් උසාවියේ නඩු ගොනු කර තිබේ. මේ අතර ආජෙන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර සිය නිවෙසේ මැරඩෝනාට දාව උපන් සිඟිති පුතු සමග තනිවූ වෙරෝනිකා ඔජේඩා පසුගියදා ආජේන්ටිනාවේ සඟරාවක් හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙසේ කීවාය.‘ඩියාගෝට මම තවමත් ආදරෙයි. එයා කවදාහරි දවසක නැවත මා වෙත පැමිණෙන බව මට විශ්වාසයි.’

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.