2014-11-27

ජනාධිපතිවරණය නිම වන තෙක්‌ බඳවාගැනීම්, උසස්‌වීම් තහනම්

ජනාධිපතිවරණය අවසන් වන තෙක්‌ රාජ්‍ය ආයතනයන්හි කිසිදු ආකාරයක බඳවා ගැනීම්, පත්වීම් හා උසස්‌වීම් සිදු කිරීම තහනම් බවට මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා විශේෂ චක්‍රලේඛයකින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ විධිමත් ලෙස සිදුකරන බඳවා ගැනීම්, පත්වීම්. උසස්‌වීම් හා මාරුකිරීම් මීට අදාළ නොවන බවද ඒ මහතා දැනුම් දී ඇත.

ජනාධිපතිවරණ රාජකාරිය සඳහා යොදා ගැනීමට අපේක්‍ෂිත රජයේ පාසැල්වල ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුළු සියලුම රජයේ නිලධාරීන්ගේ සාමාන්‍ය ස්‌ථාන මාරුවීම් ජනාධිපතිවරණය අවසන්වී සති දෙකක්‌ ගත වනතුරු අත්හිටුවන ලෙසත් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම අත්‍යවශ්‍ය හේතූන් මත හැර කණ්‌ඩායම් වශයෙන් මෙම කාලය තුළ රජයේ නිලධාරීන් විදේශගත වන්නේ නම් ඊට පූර්ව අනුමැතිය ලබාගත යුතු බවත් එම චක්‍රලේඛයේ සඳහන් වෙයි.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන්ටද මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.