2011-12-22

අපරාධ රැුල්ල ගැන සංවාදයක් ඕනෑ - පොලීසියෙන් ප‍්‍රකාශයක්

අපරාධයන්ට එරෙහි පුළුල් සංවාදයක් සමාජය තුළින්ම පැන නැගිය යුතු බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී ප‍්‍රජාවේ දායකත්වයෙන් තොරව එය සිදු කළ නොහැකි බවයි. පසුගියදා මතු වූ අපරාධ රැල්ලෙහි සිදුවීම් ගණනාවකට සම්බන්ධ වූවන් ආරක්ෂක අංශවලින් ඉවත් වූ හෝ පළාගිය අයයි. මෙවැනි පුද්ගලයින් පිළිබඳ විධිමත් පසු විපරමක් අවශ්‍ය බව විද්වතුන් පසුගියදා අවධාරණය කළා. කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කේ. කරුණාරත්න මහතා පැවසුවේ මේ පිළිබඳ නිර්දේශ බලධාරීන් වෙත යොමු කර ඇති බවයි. එහෙත් එය මේ දක්වා කි‍්‍රයාවට නැංවී නැතැයි ඔහු කියා සිටියා. මේ පිළිබඳ අප පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ එවැනි පසු විපරමක් සිදුකිරීම ප‍්‍රායෝගික නොවනවා සේම දුෂ්කර කටයුත්තක්ද වන බවයි. අපරාධ වර්ධනය වීමට ප‍්‍රධාන හේතුවක් වන්නේ සමාජය ඒ පිළිබඳ නිසි අවධානයකින් කටයුතු නොකිරීමයි. අපරාධ වැලැක්වීම සඳහා පොලීසිය ගන්නා උත්සහයට සමාජය තුළින් ඉහළ සහයක් ලැබෙන්නේ නම් මෙවැනි සිදුවීම් වළක්වා ගත හැකි බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පෙන්වා දුන්නා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.