2012-07-26

ලක්විජය බලාගාරය නැවතත් ජාතික පද්ධතියට


  • මෙගාවොට් 300 ක් අද රාත්‍රියේදී ජාතික පද්ධතියට එක්කෙරේ
  • තාවකාලික විදුලි කප්පාදුව අද රාත්‍රියේ සිට නතරකිරීමට පියවර

පසුගිය ඉරිදා (22) අළුයම තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කළ පුත්තලම ලක්විජය බලාගාරය අද (26) නැවතත් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට කටයුතු කර ඇත. ඇතිව තිබු තාක්ෂණික දෝෂය මඟහැරවීම සඳහා ගත් සියළු පියවර සාර්ථක බව බලාගාර පාලනාධිකාරිය සඳහන් කර සිටී. ඒ අනුව බලාගාරයේ පළමුවන අදියරේ සම්පූර්ණ ජනන ධාරිතාව මෙගාවොට් 300ක්  අද රාත්‍රියේදී ජාතික පද්ධතියට එක්කෙරෙන බව ලංවිම අවධාරණය කර සිටී.
පසුගිය 24 වනදා රාත්‍රිය වනවිට බලාගාරයේ ඇතිවූ තාක්ෂණික දෝෂය පිළිබඳ ස්ථීර නිගමනයකට එළඹිමට එහි ඉංජිනේරුවන්ට හැකිවිය. බලාගාරයේ බොයිලේරුවේ ඉකොනොමයිසර් කොටසේ ඇති දහස් ගණනක් බට අතුරින් එක් බටයක අඟල් 05 ක පමණ සිරස් පැල්මක් ඇතිවීම හේතුවෙන් බටය ඔස්සේ ගෙනයන ජලය කාන්දුවීමට ලක්විය. මෙම බට මඟින් සිදුකෙරෙනුයේ බොයිලේරුව මඟින් නිෂ්පාදනය කෙරෙන හුමාලය නියමිත පීඩනයේ රඳවමින් ජනන තලබමනය වෙත රැගෙන යාමයි. බටයේ ඇතිවූ පැල්ම හේතුවෙන් බොයිලේරුවේ පීඩනය අඩුවීමට ලක්ව ඇත. එම තත්ත්වය මත පසුගිය 22 වනදා අළුයම බලාගාරය ක්‍රියාවිරහිත කෙරිණග දේශීය කාර්මිකයන් විසින් බටයේ පැලී ඇති කොටස කපා ඉවත්කරල ඒ වෙනුවට නව බටයක් දැමීම සිදුකෙරිණ. ඊයේ රාත්‍රිය වනවිට එය අවසන් කිරීමට හැකිවී තිබේ. අද (26) අළුයම වනවිට එහි පීඩන පරීක්ෂාව සිදුකිරීමෙන් අනතුරුව බොයිලේරුව දහනය කිරීමට පියවර ගත් බව බලාගාරයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සාලිය පණ්ඩිතරත්න මහතා පවසනවා.
බලාගාරයෙන් ජනනය වන විදුලිය මෙගාවොට් 300 ක් නැවත ජාතික පද්ධතියට එක්කිරීමත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පමණක් බලපෑ තාවකාලික විදුලි කප්පාදුව අද (26) රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම නවතාදැමීමට හැකිවන බව පද්ධති පාලන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටී.ඩී. හඳගම මහතා පෙන්වාදෙයි. ඒ අනුව ඊයේ සහ අද උදෑසන කාලයේ දිවයිනේ ප්‍රධාන නගර 62 කට සහ ඒ ආශ්‍රිත ගම්මාන වලට බලපෑ පැය 2 විනාඩි 15 ක විදුලි කප්පාදුව මෙන්ම ඊයේ රාත්‍රියේ එම ප්‍රදේශ වලට සිදුකළ විනාඩි 45 විදුලි කප්පාදුව සම්පූර්ණයෙන්ම නතර කෙරේ.
ජාතික පද්ධතියට අහිමි වූ මෙගාවොට් 400 න් 300 ක් මේ වනවිට යළි ලැබී ඇති අතර කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ ස්ටීම් ටර්බයිනයේ මෙගාවොට් 100 ලබන 30 වනදා රාත්‍රිය වනවිට පද්ධතියට එක්කිරීමට සැලසුම් කර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය අවධාරණය කර සිටිනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.