2012-01-30

ජනපතිගෙන් මාධ්‍යයට චෝදනා


ජනතාව අතර වෛරය සහ ක්‍රෝධය වපුරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතැම් මාධ්‍ය ආයතනවලට චෝදනා කරනවා. එවැනි අදූරදර්ශී උත්සහයන් අතහැර ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රිය අයිතීන් ආරක්ෂා වන පරිදි වගකීම් ඉටුකරන ලෙසයි ජනාධිපතිවරයා මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියේ.
පොළොන්නරුව ජලසම්පාදන යෝජනා ක‍්‍රමය විවෘත කිරීම වෙනුවෙන් ඊයේ පැවැත්වූ උත්සවයකදී ජනාධිපතිවරයා ඒ ඉල්ලීම කළා. විවෘත කෙරුණු ජල සම්පාදන යෝජනා ක‍්‍රමයෙන් තමන්කඩුව සහ හිඟුරක්ගොඩ යන ප‍්‍රදේශවල පවුල් 17000 කට ප‍්‍රතිලාභ සැළසෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. වැය කෙරුණු මුදල රුපියල් මිලියන 5020 ක්. ආසියානු සංවර්ධන බැංකුව ඊට ණය ආධාර සැපයූවා.
මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ දශක කිහිපයකට පසු ජනතාව දැන් උතුර නැගෙනහිර , බස්නාහිර දකුණ , උඩරට පහතරට ලෙස කොටස්වලට නොබෙදී දැඩි බැඳීමකින් සහ නිදහසේ ජීවත් වන බවයි. එහෙත්, ඇතැම් පිරිස් විදෙස් රටවලට ගොස් මාතෘ භූමිය පාවාදීමට උත්සහ කරන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එවැනි නින්දිත උත්සහයන් පරාජය කරමින් අන්තර්ජාතික බලපෑම් හමුවේ වුව ද මාතෘ භූමිය ආරක්ෂා කරන බවයි ජනාධිපතිවරයා අවධාරනය කළේ.