2012-01-17

පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පතට බාලගිරි දෝෂ


පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමට අදාළ පනත් කෙටුම්පත් දෙක අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට රජය ඊයේ රාති‍්‍රයේ තීරණය කළා. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදීයි. ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයෙන් අදාළ පනත් කෙටුම්පත් දෙකට විවිධ යෝජනා ඉදිරිපත් වී ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
එම යෝජනා පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශ උපදේශක කාරක සභාවට යොමු කිරීමෙන් පසු පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කෙරුණා. කෙසේ වෙතත් සේවක අර්ථසාධක අරමුදල් පනත් කෙටුම්පත හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පෞද්ගලික අංශය සඳහා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් එහිදී ඉදිරිපත් නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියා.
මේ අතර ඛනිජ තෙල් , ජල සම්පාදන සහ විදුලිබල සේවක වර්ජනය පිිළිබඳවද ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කර තිබෙනවා. එම ආයතනවල සේවකයන් සඳහා සියයට 18ක වැටුප් වැඩිවීමක් ලබාදීමට රජය පසුගියදා තීරණය කළා. එය ප‍්‍රමාණවත් නොවන බවයි සේවකයන් සඳහන් කරන්නේ. කෙසේ වෙතත් මන්තී‍්‍රවරු පිරිසක් මෙහිදී පෙන්වා දී ඇත්තේ පාඩු ලබන මෙම ආයතනවල නිලධාරීන් ලබා ගන්නා වැටුප් පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.