2012-01-30

මර්වින් කැලණියෙන් ඉවතට? - විනය කමිටුවෙන් තීන්දුවක්?


අමාත්‍ය මර්වින් සිල්වා මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කැළණිය ආසන සංවිධායක ධූරයෙන් ඉවත්කළ යුතු බවට "කැළණිය අර්බුදය" සම්බන්ධයෙන් සොයාබැලීමට එම පක්‍ෂයේ මහලේකම්වරයා විසින් පත්කළ ත‍්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින් දැනටමත් තීරණය කර ඇතැයි වාර්තා වේ.

කැළණිය ආසනයේ ශ‍්‍රී ල.නි.ප. ප‍්‍රධාන සංවිධායක මර්වින් සිල්වා අමාත්‍යවරයා හා එම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලූ සන්ධාන මන්ත‍්‍රීවරුන් අතර හටගෙන තිබෙන ගැටුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා නීතීඥ චම්පානි පද්මසේකර, ඞී.පී. මැන්ඩිස් සහ සාලිය මැතිව් යන විනය කමිටු සාමාජිකයන් පත්කර තිබේ.
මේ දක්වා සිදුකර ඇති විමර්ෂන හා සාක්ෂි විභාගයන්ට අනුව මර්වින් සිල්වා ඇමතිවරයාට එරෙහිව වූ චෝදනා රාශියක් තහවුරු වී තිබේ. එසේම කැළණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලූ එහි ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරුන් ඇමතිවරයා සමග හවුලේ සිදුකළ නීති විරෝධී ජාවාරම් ගණනාවක්ද හෙළිදරව් වී ඇත.
විනය කමිටුවේ නිර්දේශ අනුව මර්වින් සිල්වා අමාත්‍යවරයාට කිසියම් හෝ දඩුවමක් ලබාදීම පාක්ෂිකයින්ගේ මෙන්ම රටේ සාමාන්‍ය ජනතාවගේ විශ්වාසය ජනාධිපතිවරයා වෙත හා රජය වෙත ලබාගැනීමට විශාල පිටුවහලක් වන බව ශ‍්‍රී ල.නි.ප. මහලේකම් මෛත‍්‍රීපාල සිරිසේන හා එම පක්‍ෂයේ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ගේද අදහස වී තිබේ.
එහෙත් මර්වින් සිල්වා හුදෙකලා කොට දඩුවම් කිරීම, ජනාධිපතිවරයා හා රජයේ පැවැත්ම වෙනුවෙන් තම ජීවිතය පවා පරිත්‍යාග කිරිමට සූදානම් පිරිස් අධෛර්්‍යයමත් කිරීමට හේතුවිය හැකිබව ගම්පහ දිස්ත‍්‍රික් ශ‍්‍රී ල.නි.ප. නායක අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ අදහස වී ඇත.
කෙසේ වුවද "කැළණි ගැටුම"ට අදාල විනය කමිටුවට සාලිය මැතිව් මහතා නම් කොට ඇත්තේ කුලපදනමක් මතය. කැළණිය ආසනයේ බහුතරයක් ජනයා නියෝජනය කරන කුලය වෙනුවෙන් ඔහුව පත් කළ බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.
මර්වින් සිල්වා මහතා කැලණියෙන් ඉවත්කරන්නේ නම් කැළණිය ආසනයේ බහුතරයක් නියෝජනය වන තම කුලයේ ප‍්‍රධානියෙකු එම ආසනයේ සංවිධායකයා ලෙස පත්කරන ලෙස පේදිරිස්වරුන් නියෝජනය කරන ගාලූ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම ඉසිපතන විහාරයේ ප‍්‍රධාන හිමිනමක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.
පසුගිය කාලයේ කැළණිය ආසනය නියෝජනය කරනු ලැබුවේ අදාල කුළයේ නියෝජිතයින්ය. දේශපාලන ක්ෂේත‍්‍රයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ සිරිල් මැතිව් මහතාද එම කුලයේ නියෝජිතයෙකි.
එහෙයින් ඒ සඳහා පුද්ගලයෙකුගේ නමක්ද ඉසිපතන විහාරයේ හිමිනම විසින් යෝජනා කර තිබේග.එම හිමිනම යෝජනා කරන ලද ශ‍්‍රී ල.නි.ප තරුණ ක‍්‍රියාකාරිකයා මේ වනවිට කැනඩාවේ කොන්සල් ජෙනරල්වරයා ලෙස කටයුතු කරයි.
කෙසේ වුවද මර්වින් සිල්වා මහතා ඉවත් කිරීම හෝ ඒ සඳහා වෙනත් අයෙකු පත්කිරිම පිළිබදව ජනාධිපතිවරයා මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි ශ‍්‍රී ල.නි.ප. මූලස්ථානයේ ක‍්‍රියාකාරිකයෙකු අප වෙත පැවසීය.
පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ බලපෑම මත මර්වින් සිල්වා අමාත්‍යවරයා ඉවත්කිරීමට සිදුවුවහොත් එම ආසනයේ වැඩබැලීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පත්කිරිමට බොහෝ දුරට ඉඩඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ආශ්‍රිත පුවත්


උපුටා ගැනීම - ලංකානිව්ස්වෙබ්