2012-01-18

වෘත්තීය සටන වෙනස් කරන්නේ නැහැ


අදට යෝජිත උද්ඝෝෂණ සහ සෙසු වෘත්තීය කි‍්‍රයාමාර්ග සංවිධාන කළ පරිදිම සිදු කෙරෙන බව ජල හා විදුලි වෘත්තී සමිති පවසනවා. ආණ්ඩුව විසින් මුලින් යෝජනා කරන ලද වැටුප් වැඩිවීම තවදුරටත් වැඩි කිරීමට තීරණය කර ඇතත් එයද පිළිගත නොහැකි බවයි එම වෘත්තීය සමිති අවධාරණය කළේ.

ජල, විදුලි සහ ඛනිජ තෙල් සේවකයන්ට සියයට 18ක වැටුප් වර්ධකයක් , කාර්ය සාධනය මත තවත් සියයට 5ක වැටුප් වර්ධකයක් සහ මාසිකව රුපියල් 2500ක දීමනාවක් ලබාදීමට ආණ්ඩුව මුලින් යෝජනා කළා. එහෙත් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත් වූ සාකච්ඡාවකදී තීරණය කෙරුණේ එම යෝජනාව අවලංගු කර ඒ වෙනුවට සියයට 25ක පොදු වැටුප් වර්ධකයක් ලබාදීමටයි. වෘත්තීය සමිතිවලද සහභාගිත්වයෙන් සාකච්ඡාව පැවැත් වුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.
කෙසේ වෙතත් ලංකා විදුලි සේවක සංගමය පවසන්නේ වෘත්තීය කි‍්‍රයාමාර්ගවලට පිවිස සිටින කිසිදු වෘත්තීය සමිතියක් සාකච්ඡාවලට කැඳවා නොතිබී බවයි.
විදුලි සේවකයන්ගේ ප‍්‍රධාන උද්ඝෝෂණය ලංකා විදුලිබල මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට දහවල් 12 ට සිදු කෙරෙන බවද සේවකයන්ගේ අදහස් විමසීමෙන් පසු මධ්‍යම රාති‍්‍රයේ සිට අතිකාල සේවාවන්ගෙන් ඉවත්වන බව ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසන්නේ සියයට 25ක වැටුප් වර්ධකයක් ලබාදීමට තීරණය කළේ යැයි ආණ්ඩුව මෙතෙක් නිල වශයෙන් දැනුම්දීමක් නොකළ බවයි. පෙරවරු 11 සිට පස්වරු දෙක දක්වා සංකේත උද්ඝෝෂණවල නිරත වන බව එම සන්ධානයේ සමකැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පවසනවා. කෙසේ වෙතත් මහජනතාවට සිදුවන අවහිරතා අවම කරන බවයි අවධාරණය කෙරුණේ.
මෙම අරගලයට සම්බන්ධ නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති ප‍්‍රකාශ කර තිබෙනවා. මුලින් ලබාදුන් සියයට 18ක වැටුප් වර්ධකයද ප‍්‍රමාණවත් බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.