2012-04-09

නිවට ලෙසින් තවත් ජීවත් විය යුතු නැහැ


අවනීතිය රජකරන යුගයක තවදුරටත් නිවටයින් ලෙස ජීවත්විය නොහැකි බව අනෝමා ෆොන්සේකා මහත්මිය අවධාරණය කර සිටියි.
ලංකාවේ නීතිය කණපිට පෙරළි ඇති බවත්, අවනීතිය රජකරන බවත්, අවුරුදු 30 ක කාලයක්‌ තිස්‌සේ රටට භීෂණයක්‌ව තිබුණු උතුරේ යුද්ධය අවසන් කල ෆොන්සේකා මහතාව  සිරගත කර තිබෙන්නේ ඒ නිසා බවත්, නිවටයන් විදියට තවදුරටත් ජීවත් විය නොහැකි බවත්ල කළුතර නගර ශාලාවේ පැවැති  ''ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කරගත යුත්තේ ඇයි?” යන කරුණ මත වූ සම්මන්ත්‍රණයේදී ඇය පැවසුවාය.
තව තවත් සංවිධානය වී ජාත්‍යන්තර මට්‌ටමින් මේ අවනඩුව ලෝකයාට කියන බවත්,  සරත් ෆොන්සේකා මහතාගේ නිදහස පතා  සම්මන්ත්‍රණයට සහභාගි වූ සැමට ස්‌තුති කරන බවත් ඇය පැවසුවාය.
ජිනීවා මානව හිමිකම් කමිටු රැස්‌වීමේදී රටවල් විසිහතරක්‌ ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේ අප රට මානව හිමිකම් කඩන නිසයි. කිසිම නීතියක්‌ නැතිව සරත් ෆොන්සේකා මහතා සිරගත කර තිබීමෙන් ඒ බව මනාව ඔප්පු වෙනවා යැයි හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කළුතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා සංවිධාන කර තිබූ මේ සම්මන්ත්‍රණයේ මුලසුන පැලෑඳ රජමහා විහාරස්‌ථානාධිපති දේවමුල්ලේ කල්‍යානන්ද හිමියෝ ඉසිලූහ.
හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා මහතා එහිදී මෙසේ ද කීවේය.
සරත් ෆොන්සේකා පිළිබඳව අප රටේ නීතිය කණපිට පෙරළා තිබෙනවා. ඔහු සිරගත කිරීමට හේතුව වූයේ සුදු කොඩි නඩුවේදී ෆෙඩ්රිකා ජෑන්ස්‌ නමැති මාධ්‍යවේදිනිය දුන් සාක්‍ෂියක්‌ නිසයි. ඇය සරත් ෆොන්සේකා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවේදී සුදුකොඩි අරගෙන පැමිණි අයට වෙඩි තැබීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවසර දුන්නාද කියා ඇය සරත් ෆොන්සේකාගෙන් ප්‍රශ්න කර තිබෙනවා. එවිට සරත් ෆොන්සේකා පවසා තිබෙන්නේ ඒ වගේ ආරංචියක්‌ මටත් ලැබී තිබෙනවා කියලයි. ඒ කතාව මාධ්‍යවේදිනිය පත්‍රයේ පළ කළා. මේ ප්‍රකාශය නිසයි සරත් ෆොන්සේකාව සිරගත කළේ. මේ විදියට කට කතාවකට කෙනකුව හිරේ දාන නීතියක්‌ ලෝකයෙ කිසිම රටක නෑ. මේ වගේ පදනමක්‌ නැති හේතුවක්‌ උඩ ලෝකයේ කිසිම රටක්‌ කිසිම කෙනකුට දඬුවම් කරල නෑ. සරත් ෆොන්සේකා කිව්වේ ඒ වගේ කතාවක්‌ මටත් ඇහිල තියෙනවා කියලයි. මේ දඬුවම දීල තියෙන්නෙ ලංකාවෙ තියෙන කිසිම පනතක්‌ යටතේ නොවෙයි.
මේක අනිත් පැත්තට ගියා නම් වැරැදිකාරයා වෙන්නෙ ෆෙඩ්රිකා ජෑන්ස්‌ නමැති මාධ්‍යවේදිනියයි. මෙවැනි වැරැදි තීන්දුවක්‌ දීම ගැන හිටපු අග්‍රවිනිශ්චයකාරයා විදියට මම ලඡ්ජාවට පත්වෙනවා.
මේ වගේ නඩුවක්‌ තුන් කට්‌ටුවට දමන්නේ නෑ. රජතුන් කට්‌ටුවට දාන්නෙ විශේෂ නඩු. තුන්කට්‌ටුව සකස්‌ කළේ මුලින්ම ක්‍රිෂාන්ති නමැති කාන්තාවක්‌ හමුදාවෙ අයෙක්‌ විසින් දූෂණය කොට මරා දැමීම නිසයි. සරත් ෆොන්සේකාට විරුද්ධ මේ නඩුව තුන්කට්‌ටුවට දැම්මේ ඔහු කොටු කරල හිරේ දාන්නයි. 2010 පෙබරවාරි 08 දා රාත්‍රි 10 ට 11 ට පමණ හමුදාවෙ කනිෂ්ඨ නිලධාරීන් පිරිසක්‌ විසින් මේ අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර මානව හිමිකම් 11, 13, 14 යන වගන්තිවලටත් පටහැනියි. මෙතැනදී ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන සම්මුතිය උල්ලංඝනය වී තිබෙනවා. අත්අඩංගුවට ගැනීමත් නීතිය විදියට විය යුතුයි. සරත් ෆොන්සේකා යුද අධිකරණය මගිනුත් අවුරුදු 2 1/2ක්‌ සිරගත කළා. තරු තනතුරු, විශ්‍රාම වැටුප් ආදී සියලුම දේ අහිමි කළා. ඒකට වැරැද්ද සරත් ෆොන්සේකා ජොන්ස්‌ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා සමඟ කරන ලද දුරකථන සංවාදයක්‌. ඒ රජයට අවමන් වන ආකාරයට කතා කළා කියලයි. ඒකෙදි දුරකථන අංකයවත් ඉදිරිපත් කළේ නෑ. සරත් ෆොන්සේකා පිළිබඳ නීතිය කණපිට පෙරළලා.
රටවල් විසිහතරක්‌ අප රටට විරුද්ධව ඡන්දය පාවිච්චි කළෙත් ඔය වගේ කරුණු නිසයි. සරත් ෆොන්සේකා සිරගත කර තැබීමට එකම හේතුව ඔය කියන දේවල් නොවෙයි. මහින්ද රාජපක්‍ෂට එරෙහිව ජනාධිපතිවරණයට තරග කළ නිසයි. දැන් මහින්ද චින්තනය විකෘති වෙලා. එය දැන් කෲරතර චින්තනයක්‌ වෙලා. සරත් ෆොන්සේකා සිරගත කරගෙන සිටීමට කිසිම හේතුවක්‌ නෑ. ජනාධිපතිවරයාට තමන්ගේ බෞද්ධකම පෙන්වනවා නම් මේ හොඳම අවස්‌ථාවයි. තවත් වද නොදී රට බේරාගත් යුද වීරයාට නිදහස ලබාදීමෙන් බෞද්ධකම පෙන්වන්න.
කෝට්‌ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත සහ ගුලවිට සිරිනිවාස යන ස්‌වාමීන්වහන්සේලා ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රගුප්ත තේනුවර, කළුතර දිස්‌ත්‍රික්‌ එ.ජා.ප. මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම, නව සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ මනෝ ගනේෂන්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ කළුතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අර්ජුන රණතුංග යන මහත්වරු ද ආචාර්ය ඉන්ද්‍රානි  ඊරියගොල්ල මහත්මිය ද කතා කළ අතර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කමිටු සාමාජික නිරෝෂණ නානායක්‌කාර මහතා පිළිගැනීම සිදු කළේය.
Source : Srilankamirror.com

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.