2012-05-21

ෆොන්සේකා නිදහස්


හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධානාගරයෙන් නිදහස්ව අද (21) එළියට පැමිණියේය. ඔහු දෑත් ඔසවා පැමිණ සිටි ජනතාවට ආචාර කළ අතර තව සුළු කාලයකින් නැවතත් ජනතාව අතරට පැමිණෙන බවද කියා සිටියේය. තමාට ඉදිරියේදී ජනතා සහය අවශ්‍ය බවද තමන්ට සහය වූ සැමට ඔහුගේ ස්තුතිය පිරිනමන බවද  ඔහු මෙහිදී කියා සිටියේය.
ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වූ සුදු කොඩි සිද්ධියට අදාළ නඩුවේදී වරදකරු කරමින් ෆොන්සේකා මහතාට බරපතල වැඩ සහිත වසර 03 සිරදඩුවමක් හා රුපියල් 5000ක දඩ මුදලක්ද එය නොගෙවන්නේ නම් තවත් මාස 06ක සිරදඩුවමක් ද නියම කර තිබිණි.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා එම දඩුවමින් නිදහස ලැබුවේ ශ‍්‍රී ලංකා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් ශ‍්‍රී ලංකා ජනාධිපති ලැබී ඇති බලතල අනුවය. ශ‍්‍රී ලංකා ජන රජයේ කවර වූ හෝ අධිකරණයක වරදකරු කවර වු හෝ වරදකරුවෙකුට සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් හෝ දීමට ජනපතිට ඇති අයිතිය යටතේ මහින්ද රාජපක්‍ෂ මහතා ෆොන්සේකා මහතාව නිදහස් කිරීම සම්බන්ධ ලියවිලිවලට පසුගිය සිකුරාදා අත්සන් තබා තිබිණි.
ෆොන්සේකා මහතාට සම්පූර්ණ සමාවක් ලැබී ඇති බවට වාර්තා වී ඇති අතර, ඒ අනුව ඒ මහතාට සිවිල් අයිතිවාසිකම් ඇතුළු සියලූ අයිතිවාසිකම් සුරැකෙන බවද නීතිවිශාරදයෝ පවසති.
කැඩෙට් නිලධාරියකු ලෙස 1970 වසරේදී සිංහ රෙජිමේන්තුවට එක් වූ සරත් ෆොන්සේකා මහතා 2005 දෙසැම්බර් 06 දා ශ‍්‍රී ලංකාවේ 18 වැනි හමුදාපතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කළේය.
ෆොන්සේකා මහතා 2006 අපේ‍්‍රල් 25 දා එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ ප‍්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබුවේය.
වසර 2009 මැයි 18 දා සරත් ෆොන්සේකා මහතාගේ හමුදා නායකත්වය යටතේ එල්.ටී.ටී.ඊ.ය පරාජය වී යුද ජයග‍්‍රහණය ලැබූ අතර 2009 ජූලි 15 දා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී තනතුරට ඒ මහතාව උසස් කරන ලදී.
වසර 2009 නොවැම්බර් 16 දා සරත් ෆොන්සේකා මහතා හමුදා සේවයෙන් විශ‍්‍රාම ලැබූ අතර 2010 ජනවාරි 27 දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග තරග කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේය.
එහිදී මනාප හතළිස්එක් ලක්ෂ හැත්තෑ තුන්දහස් එකසිය අසූපහක් ලැබූ සරත් ෆොන්සේකා මහතා 2010 පෙබරවාරි 08 දා යුද හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.
එම වසරේ අගෝස්තු 18 දා චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පළමු යුද අධිකරණයෙන් ෆොන්සේකා මහතා වරදකරු බවට නියම කර වසර තුනක සිර දඬුවමක් නියම කළේය.
එහි ප‍්‍රතිඵලයක් ලෙස හමුදා සේවයේදී ලබාගත් තනතුරු සහ සම්මාන ඒ මහතාට අහිමි විය.
එම වසරේම අගෝස්තු 16 දා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ හමුදාවෙන් පැනගිය සෙබළුන්ට රැකවරණය ලබාදීමේ චෝදනාව යටතේ ෆොන්සේකා මහතාට එරෙහිව නඩු පැවරූ අතර 2010 සැප්තැම්බර් 17 දා දෙවැනි යුද අධිකරණයෙන් ද ෆොන්සේකා මහතා වරදකරු බවට තීන්දු කළේය.
යුද්ධය අවසානයේදී සුදුකොඩි රැගෙන හමුදාවට භාර වූ කොටි සාමාජිකයන්ට වෙඩි තැබූ බවට සන්ඬේ ලීඩර් පුවත්පතට ප‍්‍රකාශයක් කර ඇතැයි යන චෝදනාව යටතේ වරදකරු කළ සරත් ෆොන්සේකා මහතාට 2011 නොවැම්බර් 18 දා කොළඹ මහාධිකරණය විසින් තවත් වසර තුනක සිර දඬුවමක් නියම කළ අතර පසුගිය 25 දා පළමු යුද අධිකරණය මගින් සරත් ෆොන්සේකා මහතාට ලබාදුන් වසර තුනක සිර දඬුවම නිමා විය.
වසර තිස්නවයක් හමුදා සේවයේ යෙදී සිටි සරත් ෆොන්සේකා මහතා ඡුන්ද අනූඅටදහස් හාරසිය අසූපහක් ලබාගනිමින් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. සිර දඬුවම් නියම වීම නිසා එකී මන්ත‍්‍රී ධුරය ඔහුට අහිමි විය.

උපුටා ගැනීම ශ්‍රීලන්කන්මිරර්.කොම්

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.