2012-09-27

බර්ටි අපිට - අපි බර්ටිට


ඉදිරි දිනක උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා යම් දේශපාලන තීන්දුවක්‌ ගතහොත් තමන්ද එම තීන්දුවට අනුව ක්‍රියා කරන බව අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පළාත් පාලන ආයතනවල නියෝජිතයෝ ඊයේ (26) වැනිදා සවස දැත් ඔසවා ප්‍රකාශ කළහ. ඊයේ (26 දා) සවස අනුරාධපුර යාපනය හන්දිය හැපි ලියෝනි හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඔවුහු මේ බව කියා සිටියහ.
උතුර මැද පළාතේ නව ප්‍රධාන ඇමැති සහ පළාත් පාලන විෂය භාර ඇමැතිවරයා වන එස්.එම්. රංජිත් මහතා සමග පළාත් පාලන ආයතන පනත සහ එහි පරිපාලන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී පමණක්‌ එකට ක්‍රියා කරන බවත් අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලු දේශපාලන කටයුතුවලදී තමන් දිස්ත්‍රික්‌ නායකයා ලෙස හිටපු ප්‍රධාන ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පමණක්‌ පිළිගන්නා බවත් ඔවුහු ප්‍රකාශ කළහ.
එසේම හිටපු ප්‍රධාන ඇමැතිවරයාට උතුර මැද පළාත් ප්‍රධාන ඇමැති ධුරය ලබා නොදුනහොත් තමන් සිය තනතුරුවලින් ඉල්ලා අස්‌වන බවට දැනුම් දෙමින් හිටපු ප්‍රධාන ඇමැතිවරයාට ලබාදී තිබූ දිවුරුම් ප්‍රකාශ සහිත ඉල්ලා අස්‌වීමේ ලිපි ඔහුගේ බලවත් ඉල්ලීම් මත නැවත ඉල්ලා අස්‌කර ගන්නා බවත් එම පළාත් පාලන ආයතනවල මන්ත්‍රීහු ප්‍රකාශ කළහ.
මෙම මාධ්‍ය හමුව අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ගේ සංසදය හා එකමුතුව විසින් කැඳවා තිබූ අතර ඊට මන්ත්‍රීවරු 70 කට අධික පිරිසක්‌ සහභාගි වූහ. බර්ටි ප්‍රේමලාල් මහතා සමඟ දිස්‌ත්‍රික්‌කයේ පළාත් පාලන ආයතන මන්ත්‍රිවරු 154 දෙනාගෙන් 120 දෙනකුම සිටින බවත් එම මන්ත්‍රීවරු එහිදී කියා සිටියහ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.