2012-11-14

ලංකාවේදී එක්සත් ජාතීන් අසමත්ලු


ශ‍්‍රී ලංකාවේ හමුදාවන් සහ එල්.ටී.ටී.ඊ ය අතර ගැටුම්වලින් සිවිල් වැසියන් ආරක්‍ෂා කිරිමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය අසමත්වු බව එම සංවිධානයේම අභ්‍යන්තර වාර්තාවකින් පෙන්වා දෙනවා. බී.බී.සී ලෝක සේවයට අනුව පිටු 30කින් යුත් එම වාර්තාව අවසන් කර තිබෙන්නේ ගැටුම් පැවති අවසන් වකවානුවේදී අවදානම් සඳහා ක්‍ෂණිකව සහ ප‍්‍රමාණවත්ව ප‍්‍රතිචාර දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අසමත්වු බව අවධාරණය කරමින්. එම සංවිධානයේ මහලේකම් බැන්කි මූන් මහතා විසින් එකී වාර්තාව නොබෝ දිනකින් ප‍්‍රසිද්ධ කරනු ඇතැයි ද ඔහුගේ ප‍්‍රකාශකවරයා ඊයේ කියා සිටියා. 
මේ අතර එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව ගැටුම් පැවති අවසන්              මාස 05දී මිය ගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 40,000කට වැඩියි. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අවදානම් සඳහා ක්‍ෂණිකව සහ ප‍්‍රමාණවතව ප‍්‍රතිචාර දැක්වුයේ නම් එම සංඛ්‍යාව අඩු කිරීමට තිබු බව ඉහත වාර්තාවේ දැක්වෙනවා. ගැටුම් පැවති ප‍්‍රදේශවල තවදුරටත් රැඳි සිටිය හොත් එක්සත් ජාතීන්ගේ නියෝජිතයින්ගේ වුවද ආරක්‍ෂාව තහවුරු කිරීමට නොහැකි බවයි ශ‍්‍රී ලංකා ආණ්ඩුව 2008 වසරේදී කියා සිටියේ. ඒ අනුව ගැටුම් පැවති ප‍්‍රදේශවලින් ඉවත් වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කළා. එම තීරණය දැඩි ලෙස විවේචනය කරන එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එක්සත් ජාතීන් වෙනුවෙන් කොළඹ සිටි  නියෝජිතයින්ට සිවිල් වැසියන් ආරක්‍ෂා කිරීමට උනන්දුවක් නොතිබුණු බවයි. 
ඔවුන්ට ප‍්‍රමාණවත් තරම් දේශපාලන පරිණත භාවයක් හෝ ගැටුම් පවතින අවස්ථාවක ක‍්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අත්දැකීම් නොතිබු බව ද සඳහන්ව තිබෙනවා. ඒ නිසා ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ උපක‍්‍රමශිලි බිය ගැන්වීම්වලට ඔවුන් යටත් වු බවයි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ. මින් ඉදිරියට හෝ එවැනි වැරදි සිදු නොවිමට නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිපාලන වෙනස්කම් සිදුවිය යුතු බවට නිර්දේශයක් ද ඉදිරිපත් කර තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.