2013-01-31

ගෝඨාභය රාජමහා විහාරයේ ඉඩම් ප්‍රාදේශීය සභාවේ උපසභාපති කොල්ලකයි


ඇඹිලිපිටිය පදලංගල ගෝඨාභය රාජමහා විහාරයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට එරෙහිව මහා සංඝරත්නය  ඇතුලූ ප්‍රදේශවාසීහූ හය සියයකට වැඩි පිරිසක් ඇඹිලිපිටිය නෝනාගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවුණා.
ගෝඨාභය විහාරස්ථානයට අක්කර දහ අටක ඉඩමක් හිමි බවද විරෝධතාකරුවෝ පවසනවා. එම ඉඩම රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික් දෙකට මායිම්ව පිහිටා තිබෙනවා. එම අක්කර දහ අටෙන් තුනක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අතර ඉතිරි පහළොව රත්නපුර දිස්ත්‍රික්කයට අයත්.  රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඉඩම්වලින් කොටසක් මෙසේ අල්ලා ගෙන ඇතැයි විරෝධතාකරුවෝ චෝදනා කරනවා. විරෝධතාකරුවන් පැවසුවේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ ඔහුගේ හිතවතුන් පිරිසක් මෙලෙස පන්සල් භූමියට අයත් ඉඩම් අත්පත් කර ගැනීමට තැත්කරමින් සිටින බවයි. කුට්ටිගල පොලීසිය වෙත පැමිණිලි කර ඇතත් මේ වන තෙක් පොලීසිය කිසිදු ආකාරයකින් සොයා බැලීමක් සිදු නොකළ බවයි විරෝධතාකරුවන් පවසන්නේ. 
වාහන ගමනාගමනයට බාධා කරමින් පාර හරහා වාඩිවී විරෝධතාවේ නිරත පිරිස විහාර භූමියට අත නොතබන්නැයි ඉල්ලා සිටියා. පසුව විරෝධතාකරවෝ  ඇඹිලිපිටිය දෙසට පෙළපාලියෙන් ගමන් ඇරඹුවා. කුට්ටිගල පාලම අසලදි මහවැලි අධිකාරියේ නේවාසික ව්‍යාපෘති කළමනාකාර අසංක ගුණතිලක මහතා එතැනට පැමිණ ලබන අගහරුවාදා (04) වනවිට මේ සම්බන‍ධයෙන් විසදුමක් ලබාදීමට පොරොන්දු වූ බව විරෝධතාවට එක්ව සිටි ගොඩවායේ සාගර හිමියෝ පැවසුවා. එම පොරොන්දුව සැලකිල්ලට ගෙන විරෝධතාව නැවැත්වූ බවද උන් වහන්සේ පවසනවා.  

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.