2013-01-20

නායකත්ව පුහුණුවට යන එක් සරසවි සිසුවෙකු වෙනුවෙන් රුපියල් දස දහසක් වැය වෙනවලු

නායකත්ව පුහුණු වැඩසටහනට සහභාගි වන විශ්ව විද්‍යාල ප‍්‍රවේශයට සුදුසුකම් ලත් සිසුවෙකුට ඒ වෙනුවෙන් රුපියල් දසදහසකට ආසන්න මුදලක් දැරීමට සිදුව ඇති බවට  තොරතුරු වාර්තා වනවා. මෙතෙක් විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු පවා නිකුත් කර නොමැති පසුබිමක විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට තමන් සුදුසුකම් ලබා ඇත්දැයි නොදන්නා බැවින් මෙවැනි මුදලක් වියදම් කිරීම ගැටළු සහගත බවයි ඊට එක්වූ සිසුන් පැවසුවේ. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර ද කියා සිටියේ නායකත්ව පුහුණු වැඩසටහනට සහභාගිවන එක් සිසුවෙකුට ප‍්‍රවාහන ගාස්තු ද ඇතුලත් ව රුපියල් 10,000ත් 20,000ත් අතර වියදමක් දැරීමට සිදුවන බවට තොරතුරු ලැබී ඇති බවයි. 

උද්ගතව ඇති මෙම තත්ත්වය පිළිබඳ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක මහතාගෙන් විමසීමක් කළා. නායකත්ව පුහුණුවට සහභාගි වන සිසුන්ට සැලකිය යුතු මුදලක් දැරීමට සිදුවන බව එහිදී අමාත්‍යවරයා ද පිළිගත්තා. කෙසේ වෙතත් වැය වන මුදලට වඩා ඉන් සිසුන්ට ලැබෙන ප‍්‍රතිලාභය වැඩි බවයි නන්දිමිත‍්‍ර ඒකනායක මහතා කියා සිටියේ.

කෙසේ වෙතත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පෙන්වා දුන්නේ සිසුන් මෙන්ම දෙමව්පියන් ද නායකත්ව පුහුණුවට කැමැත්තක් නොදක්වන බවයි. 

නමුත් පසුගිය සතියේ කළ සමීක්‍ෂණයක දී බහුතර සිසුන් සහ දෙමව්පියන් නායකත්ව පුහුණු වැඩසටහනට ඉහල ප‍්‍රතිචාරයක් දක්වා ඇතැයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැති විශ්ව විද්‍යාල ප‍්‍රවේශ කඩඉම් ලකුණු මේ මස අගදී සිසුන් වෙත ලබා දීමට නියමිත බව ද නන්දිමිත‍්‍ර ඒකනායක මහතා වැඩිදුරටත් පැවසුවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.