අලි මිනිස් ගැටුම් මෙරට සුලබයි. ඒ පිළිබඳ පුවතක් පළ නොවන දිනයක් නැති තරම්ය. අලි මදිවට හරක් කීවා සේ මිනිස් හරක් ගැටුමක් පිළිබඳ දුලභ පුවතක් පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී හෙළිදරව් වී තිබෙනවා.
සබරගමුව පළාත් මහ ඇමැති මහීපාල හේරත් මහතාගේ හා අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන්ගේ සමසභාපතිත්වයෙන් පසුගියදා එම කමිටුව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය.
මෙහිදී අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ගලිගමුව සහ වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් අටාල වතු යායේ මාගොඩ සහ පල්ලෙකණුගල යන ප්‍රදේශවල 70ක පමණ ගව රංචුවක් නිසා එම ප්‍රදේශයේ ජනජීවිතයට බාධා පැමිණ ඇති බවය.
මීට වසර 20කට පමණ පෙර කැලෑ වැදුණු එළ ගවයින් කිහිපදෙනෙකුගෙන් ඇරඹුණු මෙම ගව රංචුව මේ වන විට 70ක් පමණ වේ. කුළු හරක්ටත් වඩා සැහැසි එම හරක් මිනිසුන් පසුපස හඹා යමින් මිනිසුන්ට හානි පැමිණීමට කටයුතු කරන නිසා රබර් කිරි කැපීම වැනි දෛනික කටයුතුවලින් පවා ඉවත් බවට තොරතුරු ලැබී ඇතැයිද සියඹලාපිටිය මහතා පැවසීය.
මේ පිළිබඳ අදහස් දැක්වූ සබරගමුව පළාත් සභා මන්ත්‍රී හර්ෂ සියඹලාපිටිය මහතා පැවසුවේ අටාලවත්තේ මාගොඩ කොටසේ සැරිසරණ මෙම සැහැසි හරක් රංචුව නිර්වින්දනය කොට අල්ලා වනගත ප්‍රදේශයකට මුදාහැරීම වඩා සුදුසු බවය.
නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මහතා සඳහන් කළේ මෙවැනිම වල් වැදුනු සැහැසි එල ගවයින් 20ක පමණ බැහැනැල්ල ප්‍රදේශයේ සිටි අතර උන් නිර්වින්දනය කොට අල්ලා ගත් බවය. දැනට වෙළෙඳ පොළේ මී ගවයෙක් රුපියල් ලක්ෂයක් තරම් මිලකට අලෙවි වන අතර එළ ගවයකුගේද මිල රුපියල් අසූ දහසක් පමණ වන බව නියෝජ්‍ය ඇමැතිවරයා කීය.
මෙසේ වල් වැදුණු එල හරක් රංචුවක් සැහැසී වීම නිසා ගම්මාන කිහිපයක ජනතාව පත්ව ඇති ගැටලුකාරි තත්ත්වය සැලකිල්ලට ගෙන අවශ්‍ය පියවර ගන්නයැයි එහිදී මුලසුන හෙබවූ සබරගමුව පළාත් සභා මහ ඇමැති මහීපාල හේරත් මහතා පළාත් සත්ව සෞඛ්‍ය සහකාර අධ්‍යක්ෂවරියට නියෝග කළේය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.