2013-07-12

හිමිනමකගේ පොකැට්ටුවට විද්ද කාන්තාවක් අත්අඩංගුවට - 7000ක් තිසර පටය අස්සෙන් එළියට


වව්නියාවේ සිට කොළඹ බලා එමින් තිබූ දුම්රියක ගමන්ගත් හිමිනමකගේ රුපියල් 10,000ක මුදලක් සහිත පසුම්බිය සොරාගත් බව කියන කාන්තාවක් එම දුම්රියේ ගමන්ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයකු විසින් ඊයේ (11) අත්අඩංගුවට ගනු ලැබුවා. 
හිමිනමගෙන් සොරාගත් පසුම්බියේ තිබූ මුදලින් රුපියල් 7000ක් ගත් එම කාන්තාව තිසර පටය (බ්‍රෙසියරය/Bra) අස්සේ සඟවා තිබියදී සොයාගෙන ඇත. ඉතිරි මුදල සහිත මුදල් පසුම්බිය මෙම කාන්තාව සමග දුම්රියේ ගමන්ගත් ඇගේ ඥාති දියණිය අතට පත්කර තිබූ බවත් ඇයද දුම්රිය මගීන්ගේ මුදල් සොරකම් කිරීමේ යෙදී සිටී තැනැත්තියක බවත් දුම්රිය දෙපාර්තමේන්තුව නිලධාරියෙක් පැවසීය.
අනෙක් තැනැත්තිය අල්ලාගැනීම සඳහා දුම්රියේ සෝදිසියක් සිදුකළ නමුත් ඇය අල්ලා ගැනීමට හැකි වී නැත. අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාව දුම්රිය ආරක්ෂක හමුදාවට භාරදී ඇත. මුදල් පසුම්බියේ අයිතිකාර හිමිනම වව්නියා - කොළඹ දුම්රියට ගොඩවී ඇත්තේ අනුරාධපුරයේදීය. තමාගේ ගමන් මල්ලේ තිබූ මුදල් පසුම්බිය නැති වී තිබෙනු දුටු හිමිනම ඒ පිළිබඳ දුම්රිය මැදිරියේ සිටී මගීන්ට පවසා සිටි අවස්ථාවේ එහි සිටි කාන්තාවක් කඩිමුඩියේ වෙනත් මැදිරියකට මාරු වී ඇත. 
මේ අවස්ථාවේ දුම්රියේ සිටි විශේෂ කාර්ය බලකායේ භටයකු වන ඊ.එච්. සරත්චන්ද්‍ර මහතා එම කාන්තාව සොයද්දි දුම්රිය මැදිරියක පාපුවරුවක වාඩිවී ගමන්ගත් කාන්තාවක දැක ඇය අත්අඩංගුවට ගෙන ඇත. ඉන්පසුව දුම්රියේ ගමන්ගත් වෙනත් කාන්තාවක් යොදවා සැකකාර කාන්තාව සෝදිසියට ලක්කරවූ විට ඇගේ තිසරපටය අස්සේ සඟවාගෙන තිබූ මුදල් හමුවී ඇත.
සැකකාර කාන්තාවගේ මුවින් මත්පැන් ගඳ වහනය වෙමින් තිබූ බවත් ඇය ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්තේ පදිංචි 45 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාව සහ ඇගේ ඥාති දියණිය කාලයක් තිස්සේ දුම්රිය මගීන්ගේ මුදල් පසුබිම් සොරකම් කිරීමේදී යෙදී සිටි බව පරීක්ෂණවලදී හෙළි වී ඇත. 
දුම්රිය අරක්ෂක හමුදාවේ අධිකාරි සේනක ජයසේන මහතාගේ උපදෙස් මත දුම්රිය ආරක්ෂක හමුදාවේ කොටුව දුම්රිය ස්ථානයේ කාර්යභාර නිලධාරී ඕ.කේ. ලලිත් කුමාර, දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන් අනුර එදිරිමාන්න සහ ආරක්ෂක නිලධාරී බර්නාඩ් හියුගෝ යන මහත්වරුන් සැකකාර කාන්තාව සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පව්තවා වැඩිදුර පරීක්ෂණ සඳහා ඇය කොටුව පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා. 

-  -


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.