2013-10-15

කරාපිටි වෙදුන්ගේ දස්කමින් පස් හැවිරිදි දරුවාගේ අටට කැඩුණු හිස්කබල සාර්ථකව බද්ද කරයි

ඡායාරූපය දිනමිණ පුවත්පතෙන් උපුටා ගන්නා ලදී
සෙල්ලම් කරමින් සිටින විට වඳුරකු කඩා දැමූ පොල් ගෙඩියක් හිස මතට වැටී හිස්කබල අටට බිඳී ගිය පස් හැවිරිදි දරුවකුට ඉතා සාර්ථක සැත්කමක් සිදුකොට එම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට කරාපිටිය මහා රෝහලේ ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍ය දීපාල් අත්තනායක මහතා ඇතුළු කණ්ඩායමකට හැකිවී තිබෙනවා.
මෙම අනතුරට මුහුණ දී ඇත්තේ දෙනිපිටිය කපුවත්ත පදිංචි එම්.අසාද් නමැති දරුවාය. මොහු තවත් මිතුරන් පිරිසක් සමඟ පසුගියදා එළිමහනේ සෙල්ලම් කරමින් සිටින විට ඒ අසළ තිබූ පොල් ගසක මුදුනේ සිටි වදුරකු දැමූ පොල් ගෙඩියක් හිස මතට වැටී මෙම දරුවාගේ හිස්කබල අට පොළකින් බිඳී ගොස් තිබිණි. මෙම අනතුරට මුහුණපෑ දරුවා සඳහා සාර්ථක ලෙස
වෛද්‍ය දීපාල් අත්තනායක මහතා -
ඡායාරූපය දිනමිණ පුවත්පතෙනි
සැත්කම නිමකළ කරාපිටිය රෝහලේ ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍ය දීපාල් අත්තනායක මහතා මේ විස්මිත සැත්කම කළ අයුරු හෙළි කළේය.
"...මේ දරුවා රෝහල් ගතකරන විට දරුවාට සිහිය තිබුණේ නැහැ. අපි ප්‍රථමයෙන් කෘත්‍රිම ස්වසනය ලබා දුන්නා. ඊළඟට දරුවා ස්ථාවර තත්වයට පත්වූ පසු ස්කෑන් පරීක්ෂණයක් කළා. හිස්කබල හිසේ ඇතුළට කිඳා බැස තිබූ අයුරු හෙළිවුණා. එමෙන්ම මොළයේ අස්ථි කොටස් උඩට මතුවී තිබුණා. දරුවාට තිබූ ජීවිත අවදානම වැඩියි. ඒ නිසා ඉතා ඉක්මණට සැත්කමක් කළ යුතුව තිබුණා..."
වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය දීපාල් අත්තනායක මහතා,
"....ශල්‍යාගාරයේ දී දරුවාගේ හිස්කබල විවෘත කළ විට අස්ථි කැබලි කීපයක් බිඳී තිබුණා. එමෙන්ම හිස්කබල අට පොළකින් බිඳී තිබුණා. බිඳී තිබූ අස්ථි කොටස් නැවත එකතුකොට හිස්කබල නැවත ප්‍රතිනිර්මාණය කළා. මෙවැනි සැත්කමක දී ජීවත්වීමට වාසනාව ලැබෙන්නේ සියයට දහ දෙනකුට පමණයි. මේක ඉතාමත් සියුම් සැත්කමක්. රෝහලේ වෛද්‍යරුන් හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම ඉතා සාමූහිකව කටයුතු කළ නිසා මෙම සැත්කම සාර්ථකව නිම කර ගැනීමට හැකිවුණා...."   
 යැයිද විශේෂඥ වෛද්‍ය දීපාල් අත්තනායක මහතා කීය. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.