නිරූපණ ශිල්පිණියක, රංගන ශිල්පිණියක ලෙස නොමඳ ජනතා ආදරයක් දිනාගත් වත්සලා දියලගොඩ පසුකාලීනව රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසින් ද ප්‍රේක්ෂක ප්‍රසාදය දිනා ගත්තාය. සිය පුද්ගලික ජීවිතයේ සුවිශේෂී කාලසීමාවක් ගෙවන වත්සලා, ඒ අලුත් ආරංචිය කියන්නට හඬ අවදි කළේ මෙසේය.
අද පළමු ප්‍රශ්නය කලා ජීවිතය ගැන නොවෙයි. මේ අලුත් ආරංචිය ගැනයි?
ජීවිතේ උතුම්ම පදවිය ලබන්න මේ දිනවල හෙමින් හෙමින් සූදානම් වෙනවා. ලබන අවුරුද්ද මුලදී අපි මව්-පිය වරම් ලබනවා කිව්වොත් හරියටම හරි. මේ ගැන පත්තරේ දාලා ලොකු ප්‍රසිද්ධියක් දෙනවට අපේ අම්මලා ගෙවල්වල අය ටිකක් කැමැති නම් නැහැ. ඒත් ඔන්න මම ඒ ආරංචිය කිව්වා.
කොහොමද අලුත් කලා තොරතුරු එහෙම?
අලුතින් කලා කටයුතු භාරගත්තේ නම් නැහැ. රූපගත කිරීම් අවසාන වුණු ටෙලි නාට්‍ය දෙකක් මේ දිනවල රූපවාහිනියේ විකාශය වෙනවා.
මව් පදවියත් එක්ක කලාවෙන් සමුගැනීමක් වෙන බව ද ඒ කිව්වේ?
අනේ නැහැ. අම්මා කෙනෙක් වුණයි කියලා කලා කටයුතු නවත්වන්න සැලසුමක් මගේ නැහැ.
ඔය වගේ ලස්සන රූපයක් පවත්වගන්න මොනවද විශේෂයෙන් කරන්නේ?
සතුටින් ඉන්නවා. අහක යන ප්‍රශ්න ඔළුවට දාගෙන විඳවන්නේ නැතුව බොහොම සතුටින් ඉන්නවා.
ඒ කවුරුත් දෙන පොදු උත්තරයක්නේ. රහසින් කරන සත්කාර ගැනත් කියමුද?
අනේ කිසිම රහසක් නෑ. හැබැයි මම කන්නේ බොන්නේ හරිම පරිස්සමෙන්. එළවළු පලතුරු ගොඩක් කනවා. එළවළු වුණත් ගමේ එළවළු තමයි මං කන්න කැමති. සැර ඌෂ්ණ කෑම කොහොමවත්ම කන්නේ නෑ. යමක් තේරෙන වයසේ ඉඳලම මගේ කෑම ප්‍රතිපත්තිය වුණේ ඒකයි. ඉස්සෝ දැල්ලෝ වගේ ඌෂ්ණ කෑම ඉස්සර කෑවෙත් නෑ. දැන් කන්නෙත් නෑ. රූපය ගැන හිතන අයට මගේ උපදෙස තමයි පුළුවන් තරම් සිසිල්, ඇඟ නිවන කෑම කන්න කියන එක.
මව් පදවිය ලැබුවම ගොඩක් කාන්තාවන් තමන්ගේ රූපය ගැන හිතන්නෙ නැතිව ඉන්නවා. වත්සලාත් එහෙම වෙයිද?
කොහෙත්ම නැහැ. මට තියෙන්නේ ඉක්මනින් මහත්වෙන ඇඟක්. ඒ නිසා දරුවා ලැබුණට පස්සේ මම අනිවාර්යයෙන් මහත් වෙයි කියලා මට හිතෙනවා. ඒත් ඒක එහෙම වෙන්න දෙන්න බැහැනේ. ඒ නිසා මම ඒ කාලයට ඒ ගැන ටිකක් වැඩිපුර අවධානයෙන් ඉන්නවා.මේ කාලයේ මට කෑම පාලනය කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා පැටියා ලැබුණට පස්සේ උනන්දුවෙන් ඒ ගැන හිතනවා.
ඒත් කෙනෙක් කිව්වොත් දරුවගේ වැඩ නිසා තමන් ගැන හිතන්නවත් වෙලාවක් නෑ කියලා?
එතකොට මම කියන්නේ දරුවෙක් ලැබුණට පස්සේ තමයි තමන් ගැන වැඩිපුරම සැලකිලිමත් වෙන්න ඕන කියලයි. දරුවා ජීවිතයේ එක දෙයක් විතරයි. අපිත් හැමදාම ලස්සනට ඉන්න ඕන.
දෙරණ මනාලි වැඩසටහන ඉදිරිපත් කරද්දී වත්සලාට ආපහු මනාලියක් වෙන්න හිතෙන්නෙ නැද්ද?
නෑ නෑ. ආයෙත් කසාද බඳින්න හිතෙන්නෙ නෑ. මම ඒ වැඩසටහනේ පෙන්වන ලස්සනම ලස්සන මනාලියන්ගේ ලස්සන බලලා සතුටු වෙනවා. මොකද මගේ වෙඩින් එක දවසේ මං උපරිම ලස්සනට හිටියා කියලා සතුටු වෙන්න මට පුළුවන්.
වත්සලාගේම මංගල දිනයට කලින් කී වතාවක් මනාලියක් විදියට සැරසිලා තියෙනවද?
අම්මෝ ගණන් කරන්නත් බැරි තරම් මම මනාලියක් විදියට සැරසිලා තියෙනවා. දින කැලැන්ඩර්වලට, විලාසිතා දැක්මවලට, නිරූපණ කටයුතුවලට සෑහෙන්න වතාවක් මං මනාලියක් විදියට සැරසිලා තිබුණා.
සැබෑ මංගල දිනය සහ නිරූපණ කටයුත්තකට මනාලියක් වීම කියන කාරණා දෙක අතරේ වෙනසක් වත්සලාට තිබුණෙ නැද්ද?
ලොකු වෙනසක් ඇත්තටම මට දැනුණෙ නෑ. උදේ පාන්දර මනාලිය විදියට සාරිය ඇන්දම හවස් වෙනකල්ම අපහසුවක් නැතිව සාරිය ඇඳගෙන, මේකප් කරගෙන ඉන්න පළපුරුද්දක් මට තිබුණා. ඒ නිසා ඇඳුම් පැලඳුම්වල මට අලුත් වෙනසක් තේරුණේ නෑ. පෙනුම මට හුරුපුරුදුයි. එත් එදා අපේ නෑදෑයෝ අතරේ දවස ගවෛනකොට සතුටක් දැනුණා.
වත්සලාගේ විනෝදාංශ මොනවද?
මම දුර පළාත්වල ඇවිදින්න ආසයි. ඒත් දේවල් බලන්න යන්න නෙවෙයි. කොහේ හරි දුර පළාතක හෝටලයකට ගිහින්, කාල බිලා, වැඩිපුර නිදාගෙන විවේකයෙන් දවස ගෙවීමෙන් මම ගොඩක් විනෝද වෙනවා.
එළියේ ඇවිදින්න අකැමැති, මේ දැන් ඉන්න තත්ත්වය නිසාද?
නෑ. කොහොමත් මම එහෙම අව්වේ, පාරවල්වල එහෙම ඇවිදින්න ආස නැහැ ඉස්සර ඉඳලම.
ක්‍රීඩාවට උනන්දු නැද්ද?
හපොයි නෑ. ජීවිතයේ අකැමැතිම මාතෘකා දෙක ක්‍රීඩාවයි, දේශපාලනයයි තමයි.
වත්සලා ආඩම්බරයි ද?
ඔව්. ටිකක් ආඩම්බරයි. නැත්නම් හරි කරදරයිනේ. නිළියක් නිසා කියනවා එහෙම නෙවෙයි. මම හිතන්නේ හැම ගෑනු ළමයෙක්ම ටිකක් ආඩම්බර වෙන්න ඕන. එතකොට කරදර අඩුයි.
ප්‍රේක්ෂක ප්‍රතිචාර කරදරයක් වගේ කියලා හිතුණු අවස්ථාත් ඇති එහෙනම්?
හැම වෙලාවෙම නෙවෙයි. එක්තරා පත්තරේක මගේ අවසරයක් නැතිව මගේ උපන්දිනයයි, ටෙලිෆෝන් අංකයයි පළ කරලා තිබුණා. එදා මට අත්‍යවශ්‍යම කෝල් එකක් ගන්නවත් බැරි තරමට කෝල් ආවා. මට තරහත් ගියා. සමහරු ඇත්තටම සුබපතන්න ගන්න අතරේ සමහරු විහිළුවටත් කතා කරනවා. ඒ වගේ වැඩවල දී දැනෙන අපහසුව තේරුම් ගන්න නම් ඉතින් තමන්ටම ඒ දේ වෙලා බලන්න ඕන.
වත්සලාට කලාවේ ලොකුම අරමුණ මොකක්ද?
ලොකු අරමුණක් මට නෑ. මම රඟපාන්නේ විනෝදයටයි. කන්නේ අඳින්නේ රඟපාලා උපයන මුදල්වලින් නෙමෙයිනේ. ඒ නිසා ලොකු අරමුණක් ඇත්තටම නෑ.
එතකොට ජීවිතේ ලොකුම අරමුණ?
සතුටින්, හොඳින් ඉඳීම තමයි.
උපුටා ගැනීම - රිවිර පුවත්පතේ රිවිසරසි අතිරේකයෙනි
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.