2013-12-04

ඇමැති රෙජිනෝල්ඩ්ගේ දියණිය හදිසියේ අභාවප්‍රාප්ත වෙයි

සුළු අපනයන භෝග ප්‍රවර්ධන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ දියණියක වන මුදිතා සංජීවනී කුරේ මහත්මිය (36) හදිසියේ අභාවප්‍රාප්ත වූවාය. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකා චාර්යවරියකි. කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධියට සූදානම් වෙමින් සිටි සංජීවනී මහත්මිය දර්ශනපති උපාධිය සඳහා පසුගිය සිකුරාදා (30 වැනිදා) සිය දේශනය ඉදිරිපත් කරමින් සිටියදී පරික්‍ෂණ මණ්‌ඩලය ඉදිරියේම සිහිසුන්ව බිම ඇද වැටී තිබේ. එම සිද්ධියෙන් පසුව කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කෙරුණු ඇය අනතුරුව රාගම රෝහලටද එතැනින් කොළඹ ජාතික රෝහලට ද ඇතුළත් කරන ලදී. මෙලෙස මියගිය සජීවනී කළුතර, නාගොඩ, පැරණි ගුවන්තොටුපොළ පාරේ පදිංචිව සිටියා.
ඊයේ (3 වැනිදා) අලුයම 5.15 ට පමණ සංජීවනී මහත්මිය අභාවප්‍රාප්ත වූයේ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියදීය.
කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ දීප්තිමත් ආදි ශිෂ්‍යාවක වූ ඇය පාසල්වියේදී ජයග්‍රහණ රැසක්‌ ලබාගෙන තිබේ. දර්ශනපති උපාධිය සඳහා ලබන වසරේ විදේශගත වීමටද ඇය සූදානමින් සිටියාය.
අභාවප්‍රාප්ත වන විට තිස්‌පස්‌ හැවිරිදි වියේ පසුවූ සංජීවනී මහත්මිය දරුවන් තිදෙනකුගේ මවකි.
අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ දියණියගේ මරණයට හේතුව මොළයේ නහරයක්‌ පිපිරීමෙන් මොළයට අධික රුධිරය වහනය වීම නිසා බව කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා ඊයේ (03 වැනිදා) නිගමනය කළේය. 
කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා හමුවේ පැවැති මෙම මරණ පරීක්‍ෂණයේදී සාක්‌ෂි දුන් මියගිය කථිකාචාර්යවරියගේ සැමියා වන ශානක ඇන්ටන් ජෙරොම් සීමන්ස්‌ (42) යන අය මෙසේ පැවැසීය.
"මියගොස්‌ සිටින්නේ මගේ බිරිඳ. අපි විවාහ වෙලා අවුරුදු 11 ක්‌ වෙනවා. විවාහයෙන් අපට දරුවෝ තුන් දෙනෙක්‌ ඉන්නවා. බිරිඳ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක්‌ ලෙස සේවය කළා. බිරිඳට කිසිම අසනීපයක්‌ තිබුණේ නැහැ. ඇය හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටියා. ඇය 2013/10/30 වැනිදා උදේ 6.30 ට විතර ගෙදරින් පිටත්වුණා. ඇගේ මෝටර් රථයෙන් ගියේ. ඈ කැලණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන උත්සවයකට සහභාගිවීමටයි ගියේ."
"උදේ 8.30ට විතර ඇය මට දුරකථන පණිවුඩයක්‌ දුන්නා. ඇගේ සපත්තුව කැඩුණු බවත්, කරදරයක්‌ නැතුව ආ බවත් ඈ කිව්වා. ඇගේ ෆෝන් එකට රීලෝඩ් එකක්‌ එවන්න කියලත් කිව්වා."
"උදේ 11.00 විතර කවුදෝ කෙනෙක්‌ මට කෝල් එකක්‌ දීලා කිව්වා බිරිඳට සිහිය නැතිවී කිරිබත්ගොඩ රෝහලට අරන් ගියා කියලා. එම රෝහලින් රාගම රෝහලට රැගෙන ගිය බවත් කිව්වා. පසුව මා රාගම රෝහලට ගියා. මා එහි යනවිට බිරිඳගේ පියාද රෝහලට පැමිණ සිටියා. බිරිඳව රාගම රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරු කළා."
"බිරිඳව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. සැත්කමක්‌ කළේ නැහැ. ඇය දිගටම සිහිය නැතිව හිටියා. දොස්‌තර මහත්තයා කිව්වා බිරිඳ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් ඉන්නේ කියලා. අද උදේ බිරිඳ මොළයේ නහරයක්‌ පිපිරීමෙන් මියගොස්‌ ඇති බව කිව්වා."
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (5 වැනිදා) කළුතර කටුකුරුන්දේ ශාන්ත පිලිප්නේරි දේවස්‌ථානයේදී සිදු කෙරේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.