2013-12-05

ගායක සමන් හා ඇමැති බින්දු අතට අත දී සමගි වෙති

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාට ප්‍රසිද්ධියේ පහරදීම සම්බන්ධයෙන් දකුණු පළාත් සභා කෘෂිකර්ම ඇමැති බින්දු වීරසිංහ මහතාට විරුද්ධව කරන ලද පැමිණිල්ල බොරැල්ල පොලිසියේදී ඊයේ (04 වැනිදා) විභාග කරද්දී දෙපාර්ශවයේම එකඟතාව මත එම පැමිණිල්ල සමථයකට පත් කරගෙන ඇත. පහරදීම සම්බන්ධයෙන් ඇමැතිවරයා සමන් ද සිල්වා මහතාගෙන් සමාව ගත් අතර දෙපාර්ශවයම අතට අතදී පැමිණිල්ල සමථයකට පත් කරගෙන තිබෙනවා.
බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පැමිණිල්ල ඊයේ සවස බොරැල්ල පොලිසියේ දී විභාග කෙරිණි. ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා සමග මධුමාධව අරවින්ද, බුද්ධික රඹුක්‌වැල්ල යන මහත්වරුන්ද පොලිසිය වෙත පැමිණ සිටියා.
මේ අතර ඇමැති බින්දු වීරසිංහ මහතාද සිය ආධාරකරුවන් කීපදෙනෙකු සමග පොලිසිය වෙත පැමිණ සිටියේය. මෙහිදී දෙපාර්ශවය කැඳවා ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව කරුණු විමසා බලා දෙපාර්ශවය සමගි කර පැමිණිල්ල සමථයකට පත් කිරීමට අනුර සේනානායක මහතා පියවර ගෙන තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ ඉකුත් 30 වැනිදා රාත්‍රී පැවැති සංගීත සංදර්ශනයක්‌ අතරතුරදී වේදිකාවේ සිටි සමන් ද සිල්වා මහතාට පළාත් ඇමැතිවරයා, පහරදුන් බවට බොරැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක්‌ ලැබී තිබිණි. එහෙත් ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ සමන් ද සිල්වා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක්‌ පිළිබඳව තමන් ඔහුගෙන් ප්‍රශ්න කළ බවත් පහරදීමක්‌ නොකළ බවත්ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කළ අතර පළාත් ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක්‌ද ලබා ගෙන තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුර සේනානායක මහතා කියා සිටියේ දණ්‌ඩනීති සංග්‍රහයේ 266 වැනි වගන්තියට අනුව මෙහිදී එල්ල වී තිබූ චෝදනා සමථයකට පත්වීමට හැකි චෝදනා බවයි.
ඒ අනුව දෙපාර්ශවය කැඳවා කරුණු අවබෝධ කර දී ඔවුන් සමථයකට පත් කිරීමට කටයුතු කළ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා කීය.
උපුටා ගැනීම - දිවයින පුවත්පත

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.