2014-03-15

මම මේ ෆීල්ඩ් එකෙන් සමුගන්නවා - ගයනි බැට්ස් කියයි

ජීවිතය සුවපත් කරන්නට උගත් ඇය රුවක් අර්ථගන්වන්නට සහජයෙන් හිමිව තිබූ අයිතිය හිමිකරගන්නට හිතුවක්කාර වූ ඇය හුරුබුහුටි තරුණියකි. මනසේ ඇඳෙන සිතුවම සිය සුසිනිඳු ඇඟිලි තුඩුවලින් නිරූපණයේ රූපණය කරන්නිය ඇයයි. ආයුර්වේද වෛද්‍යවරියක්වීමේ සිහිනයෙන් මිදී රුවක් අලංකරණය කරන්නට යොමුවෙන්නෙ අහම්බයෙනි. ගයනි බැට්ස් ලෙස ක්‍ෂේත්‍රයේ ජනප්‍රියත්වයට පත්ව සිටියත් ඇය නමින් ගයනි සමරසිංහයි. මේ ඇය සමග කළ සුහද පිළිසඳරයි.

නිරූපණ ක්‍ෂේත්‍රයට එකතුවන පිරිස අද විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා නේද?
ඇත්තටම ගොඩක් සතුටුයි. මේ ක්‍ෂේත්‍රයට අලුත් මුහුණු එකතුවෙනවා. තමන්ට මේ ක්‍ෂේත්‍රයට එකතුවෙන්න කැමැත්තක් තියෙනවා නම් අලුත් දේවල් කරන්න පුළුවන් නම් මේ ක්‍ෂේත්‍රයෙන් ලොකු ගමනක් යන්න පුළුවන්. හැමදාම එකම පිරිසකට මේ ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්න බෑ. මොකද තාරුණ්‍යයත් එක්ක තමයි මෙහි රඳා පැවැත්ම තියෙන්නේ.

නිරූපණ ක්‍ෂේත්‍රයට එන්න බාහිර ස්වරූපය විතරක් ප්‍රමාණවත්ද?
බාහිර ස්වරූපය විතරක් ප්‍රමාණවත් වෙන්නෑ. හැම කෙනෙක්ටම තමන්ට උරුම වුණ ලස්සනක් තියෙනවා. ඒ වගේම මේ ක්‍ෂේත්‍රයට එන්න මූලික දැනුමත් අවශ්‍යයි. ඒ වගේම ප්‍රායෝගික දැනුමත් වැදගත් වෙනවා ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්න.

කොටට ඇඳලා ඉන්න අය සංකරයි කියලා සමාජයේ අද ලොකු මතයක් ගොඩනැගිලා තියෙනවා.
ඒ මතය බොරු කියල තමයි මම හිතන්නේ. මොකද ඇඳුමෙන් පැලඳුමෙන් මිනිස්සු මනින්න බෑ. සංස්කෘතියට ගැළපෙන විදියට වගේම තමන්ට ගැළපෙන විදියට තමයි විලාසිතා කරන්න ඕන. අද සංවර විදියට ඇඳුම් පැලඳුම් අඳින අයත් සංකරයි. ඒ නිසා මම කියන්නෙ ඇඳුමෙන් පැලඳුමෙන් මිනිස්සු මනින්න එපා කියලා.

මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ සෑම කෙනෙක්ටම මේ වෘත්තිය කරන්න වෙන්නෙ රාත්‍රී කාලයේදී සුපිරි හෝටල්වල. සමාජය මේ දිහා බලන්නෙ වපර ඇහින් නේද?
තමන් යන තැනවත් රෑ ද දවල්ද කියන එකවත් නෙමේ වැදගත් වෙන්නෙ. තමන් කව්ද කියන එක තමයි වැදගත්ම දේ. අපි කව්ද කියල දැනගෙන අපේ ප්‍රතිපත්තිවලට ගරු කරනවානම් තමන්ට ඕන තැනක ගිහින් තමන්ගෙ ගරුත්වය තියාගෙන ඉන්න පුළුවන්.

නිරූපණ ක්‍ෂේත්‍රයෙන් දිගු ගමනක් යන්න නම් නයිට් ක්ලබ් සංස්කෘතියට හැඩගැහෙන්න ඕන කියලා මතයක් තියෙනවා.
ඒ දේ නිරූපණ ක්‍ෂේත්‍රයට කියලා විශේෂ නෑ. ඒක අද හැමෝටම ‍පොදු විලාසිතාවක් වෙලා. තමන් හරියට හැසිරෙනවා නම් තමන්ට ඕන තැනක ගිහින් ඉන්න පුළුවන්. මේ ක්‍ෂේත්‍රයෙන් ඉස්සරහට යන්න නයිට් ක්ලබ් වැදගත්ම අංගයක් නෙමේ. 

ඔබේ වෘත්තිය නිසා පෞද්ගලික ජීවිතයට බලපෑමක් වෙලා තියෙනවද?
මට තාම බලපෑමක් නෑ. අපි හැමදේම කළමනාකරණය කරගන්න පුළුවන් නම් පෞද්ගලිකත්වයට හානියක් නෑ. ඒ වගේම අනිත් කෙනා අපේ වෘත්තිය තේරුම් අරන් ඉන්නවනම් ප්‍රශ්න ඇතිවෙන්නෑ. වෘත්තියයි පෞද්ගලික ජීවිතයයි පටලව ගන්නේ නැතිව ඉස්සරහට ගියොත් තමන්ගේ ජීවිතේ ගැටලු ඇතිවෙන්නේ නෑ. 

ඔබ ආයුර්වේද වෘත්තියෙන් ඉවත්වෙලා වේෂ නිරූපණ ශිල්පිනියක් ලෙස ක්‍ෂේත්‍රයට යොමුවෙන්නේ මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන් කීවොත්?
ආයුර්වේද පැත්තෙන් ඉස්සරහට යනවා මට මුදල් කියන දේ මූලික වුණා නම්. ආයුර්වේදයට වඩා මේ ක්‍ෂේත්‍රයට මම කැමැතියි. මගේ හැකියාව ප්‍රදර්ශනය කරන්න පුළුවන් වගේම මට ලොකු සතුටක් තියෙනවා. මේ ක්‍ෂේත්‍රයට යොමු වුණාම මිනිස්සු මගේ හැකියාව වටා ගොඩක් එකතු වුණා. එනිසා මට වටින්නේ මුදල්වලට වඩා මගේ වටේ ඉන්න මිනිස්සුන්වයි.

ඔබට අන්තර්ජාතික වශයෙන් ලැබෙන පිළිගැනීම අපේ රටෙත් ලැබෙනවද?
අපේ රටේ ලොකු පිළිගැනීමක් ලැබුණ නිසා තමයි අන්තර්ජාතික වශයෙන් මට ලොකු පිළිගැනීමක් ලැබෙන්නේ. මම හිතනවා අපේ රටේ මිනිස්සු මාව පිළිගත්තා කියලා.

ඔබ හුරුබුහුටි චරිතයක්. ඒ නිසා රංගනයට ආරාධනා ලැබිලා ඇති නේද?
ගොඩක් ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණා. ඒත් මම කරන රැකියාවට මම ආදරෙයි. ඒ නිසා රංගනයට සම්බන්ධ වෙන්න කිසිම බලා‍පොරොත්තුවක් නෑ. මේ කරන වෘත්තියේ මම දිගටම රැඳී ඉන්න තමයි මගේ එකම බලා‍පොරොත්තුව.

ඔබ මේ ක්‍ෂේත්‍රයේ දිගටම රැඳී ඉන්න බලා‍පොරොත්තු වෙනවද?
ඉතා කෙටි කාලෙකින් මේ ක්‍ෂේත්‍රයේ මගේ දක්ෂතාවට මම තැනක් හදා ගත්තා. මම බලා‍පොරොත්තු නොවුණ දේවල් පවා මේ ක්‍ෂේත්‍රයෙන් ලැබුණා. ඒ නිසා තව ටික කාලයක් මම මේ ක්‍ෂේත්‍රයේ රැඳී ඉඳීවී. මගේ ජීවිතයේ අනිත් හීන හැබෑ කරගන්න මම මේ ක්‍ෂේත්‍රයට ඉදිරියේදී සමුදෙනවා.

උපුටා ගැනීම - රිවිර පුවත්පත










































No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.