2014-03-15

දරුවන් නොසලකන නිසා මව්පිය දෙදෙනා වස බී දිවි නසාගෙන

තම ආදරණීය දරු තිදෙනාගේ සැලකිලි නිසි ලෙස නොලැබීම නිසා කලකිරීමට පත් මහලුවියේ පසුවූ මවුපිය යුවළක් එකම තීරණයක පිහිටා වස වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර දින තුනකට පසු මව මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ නවගත්තේගම කිරිමැටියාවේ විසූ නායක බණ්ඩාරලාගේ බණ්ඩාර මැණිකා (65) නමැති තිදරු මවකි. ඇය සමඟ එකට වස පානය කළ බව කියන ඇගේ සැමියා වන බස්නායක මුදියන්සේලාගේ ධර්මදාස (72) නමැති අය මේ වනවිට ඉතාමත්ම අසාධ්‍ය තත්ත්වයෙන් පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව නවගත්තේගම පොලිසිය කියයි.
ගොවිතැන් බත් කර ජීවිකාව ගෙන ගිය මේ අඹු - සැමි යුවළට සිටින දරුවන් තිදෙනාගෙන් එක් දරුවෙක් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි තනතුරක් දරයි. දරුවන්ට විවිධ ප්‍රශ්න හා ආර්ථික අපහසුකම් මතුවී තිබූ නිසා ඔවුන්ට තම මහලු මවුපියන්ට සැලකිලි දැක්වීමට ඉඩ ලැබී නැත. මේ නිසා දැඩි ලෙස කලකිරීමට පත් මහලු යුවළ තම වේදනාව දරුවන්ට පවසා කිසිවකුට කරදරයක් සිදු නොකර ජීවිතයෙන් සමු ගැනීමට කතා බහ කර ඉකුත් 11දා අලුයම වස වර්ගයක් පානය කර අසාධ්‍යව වැටී සිටියදී අසල්වාසීහු දැක වහාම නවගත්තේගම රෝහලටත් එතැනින් පුත්තලම මූලික රෝහලටත් ඇතුළු කර ඇත. පසුව බිරිය ඊයේ (14දා) අලුයම මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.