2014-04-26

බෝම්බ ප්‍රහාරයකින් ඉන්දීය මැතිවරණ නිලධාරීන් 2ක් සහ පොලීසියේ 3ක් මරුට

ඉන්දීය මහ මැතිවරණයේ හයවන අදියර පසුගිය බ්‍රහස්පතින්දා පැවැත් විණ. ජාර්ක්හාඩ් හි පැවැති මැතිවරණය අවසන් වී එහි සේවක පිරිස සහ ‍පොලිස් නිලධාරින් රැගත් බස් රථයක් බිම් බෝම්බයකට හසුවීමෙන් මැතිවරණ රාජකාරි කළ නිලධාරින් 5 දෙනකු මරුමුවට පත්ව ඇතැයි ඉන්දීය වාර්තා සඳහන් කර තිබේ.

බිම් බෝම්බය මාඕ සටන්කාමීන් විසින් ඩුම්කා දිස්ත්‍රික්කයේ දී අටවා තබා ඇතැයි විශ්වාස කෙරේ. මෙම පිපිරීම හේතුවෙන් විශාල ‍පොලිස් නිලධාරින් පිරිසක් තුවාල ලබා ඇති බවත් බස් රථය මුළුමනින්ම විනාශ වී ඇති බවත් එම වාර්තාවල සඳහන් ය.
මෙම පිපිරවීම මාඕවාදීන් විසින් සිදු කළ දෙවන බෝම්බ පිපිර වීමයි. ප්‍රථමයෙන් පුපුරවා හැරි බෝම්බයෙන් 12 දෙනකු මරුමුවට පත් විය.

එම වාර්තාවලට අනුව මෙම ප්‍රදේශයේ මැතිවරණය නැවත පැවැත්වීමට කටයුතු කරමින් සිටියි. ඊට හේතු වී ඇත්තේ මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනුණ උපකරණ සියල්ල විනාශ වී ඇති හෙයින් බවද වාර්තා පෙන්වා දී තිබේ.මේ අතර අසනීප හේතුවෙන් කිහිප දිනක් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලින් ඉවත්ව සිටි කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි වරනාසි ප්‍රාන්තයේ මැතිවරණ කටයුතු සඳහා පැමිණ ඇතැයි වාර්තා වේ. මෙම ප්‍රදේශයෙන් තරග වදින භාරතීය ජනතා පක්ෂ  නායක නරේන්ද්‍ර මෝඩිට එරෙහිව විශාල ප්‍රචාරයකට සූදානමින් පැමිණ ඇති බවද එම වාර්තා පෙන්වා දී තිබේ. ඈ පවසා ඇත්තේ මෙම ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ලෙස ඔහු දූෂණ මර්දනය සඳහා ගෙන ඇති පියවර කුමක්ද යන්න ප්‍රශ්න කරමින් අසත්‍ය ප්‍රචාරයන් ගෙන යනු ලබන්නේ කොංග්‍රසය දූෂණයට ඉඩ දී ඇති බව සනාථ කිරීමටය.

ඔහුගේ පාලනය යටතේ 2001 සිට පැවතියත් දූෂණ මැඬලීමට අවශ්‍ය නීති සම්පාදනයට ඔහු ගෙන ඇති පියවර කිමෙක්ද යන්න සෝනියා ප්‍රශ්න කර ඇත. ඔහු බලයට පැමිණියත් ඔහුගේ ‍පොරොන්දු ඉටු කිරීමට ඔහුට හැකියාවක් නොලැබෙන බවද ඇය පවසා ඇත.කෙංග්‍රස් පක්ෂයේ මැතිවරණය මෙහෙයුම් ප්‍රධානි ලෙස කටයුතු කරන රාහුල් ගාන්ධි ඉදිරියේ දී මෝඩිගේ ප්‍රාන්තය වන ගුජරාට් හි මැතිවරණ කටයුතු සඳහා පැමිණීමට නියමිතය.

මේ අතර නරේන්ද්‍ර මෝඩි පවසා ඇත්තේ ඔහුගේ පාක්ෂිකයන් විසින් සංවිධානය කළ දැවැන්ත වීදි සංචාරය අනෙක් පක්ෂය මවිතයට පත් කළ බවය. එම සංචාරය අනෙක් පක්ෂවලට නොරුස්සන බව සඳහන් කර ඇත. ඔහු පෙන්වා දී ඇත්තේ ඒ හේතුවෙන් මැතිවරණ කොමිසමට එය නීති විරෝධී පෙළපාළි පැවැත්වීමක් ලෙස පෙන්වා දී තිබෙන බවය.

මේ අතර ප්‍රියන්කා ගාන්ධි තම සහෝදරයා වන රාහුල් ගාන්ධි සමග ගුජරාට් ප්‍රාන්තයේ මැතිවරණ කටයුතුවලට සහභාගි වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඇතමෙක් මෙම තීරණයට එළඹ ඇත්තේ ද විපක්ෂ නායක නරේන්ද්‍ර මෝඩි කොංග්‍රසයට කරනු ලබන චෝදනාවන්ට පිළිතුරු සැපයීම මුල් කරගෙන බවද වාර්තා සඳහන් කරයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.