2014-11-27

මැතිවරණයේදී සහය කාටද? - ඥානසාර හිමිගෙන් කවියකින් උත්තර

යුද්ධය ජයගත්තාට, පාලකයින්ට රට කන්න ජනතාව බලය දී නැතැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි. 

මේ නිසා උද්ධච්චකම අතහැර රට පාලනය කරන්නැයි තම සංවිධානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ අවධාරණය කරයි. 

පළමුව රට බවත්, දෙවනුව ජාතිය බවත්, තෙවනුව ආගම බවත් පවසන උන්වහන්සේ බොදුබලය තීරණ ගන්නේ රටේ ජාතියේ ආරක්ෂාව ගැන හිතා යැයිද අද (27) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය. 

තම සංවිධානයේ අදහස පක්ෂ දේශපාලනය නොවන නමුත්, සියලුදෙනාටම ඇහුම් කන්දෙන බවද ඥානසාර හිමියන් කියා සිටියේය. 

මේවන විට පොදු විපක්ෂයේ සිටින්නේ පපට්ලා පිරිසක් බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාට ආපසු හැරී බලන්නැයි ඉල්ලීමක් කරන බවත්, උන්වහන්සේ සඳහන් කළේය. 

පොදු විපක්ෂයේ සිටින පිරිස ගැන ප්‍රබල සාක්ෂි ඇති බවත්, ඉදිරියේදී ඒවා හෙළිකරන බවත්, පැවසූ උන්වහන්සේ මෛත්‍රිපාල දෙපැත්තේ සිටින්නේ අගසව් දෙන්නෙක් බවද කියා සිටියේය. 

බටහිරට අවශ්‍ය පරිදි නැළවෙන සුරතලින්යන්ගෙන් රටට සෙතක් නැතැයිද කියා සිටි ඥානසාර හිමියන් මෛත්‍රිපාලට සිදුවන්නේ මැතිවරණයෙන් පසු බවුන් වැඩීමට යැයිද සඳහන් කළේය. 

ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දෙන්නේ කාටදැයි මාධ්‍යවේදීන් පසුව විමසා සිටි අවස්ථාවේ උන්වහන්සේ “තම තම නැණ පමණින් දැනගත යුතු” යනුවෙන් ලොවැඩ සඟරාවේ කවියකින් මාධ්‍ය හමුව නිමා කළේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.