2012-01-05

උසස් පෙළ අවුල ලිහීමට ආණ්ඩුවට සැබෑ උවමනාවක් නැහැ

ජනාධිපති කමිටුවක් පත් කිරීම වැනි තාවකාලික පැලැස්තර යෙදුවද උසස් පෙළ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් වන අවුල නිරවුල් කිරීමට සැබෑ වුවමනාවක් ආණ්ඩුවට නොමැති බවට යළි චෝදනා කෙරෙනවා.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර කොළඹ ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ ආණ්ඩුවට අවශ්‍ය වන්නේ සිදු වූ අවමානය සමනය කිරීමට පමණක් බවයි.

මේ අතර ප‍්‍රතිඵල දෝෂ සහගත වීමට හේතුව නිලධාරින් 3 දෙනෙකු වෙන් වෙන්ව පරිගණකයට දත්ත ඇතුළු කිරීම බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉකුත්දා පැවසුවා. එයද විසුළු සහගත බවයි සංජීව බණ්ඩාර ප‍්‍රකාශ කළේ. උසස් පෙළ ප‍්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අපේක්ෂකයන්ගෙන් මුදල් අය කිරීමද මෙහිදී විවේචනයට ලක් වුණා.
මේ අතර ඉකුත්දා පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන්ද දැන් අවුලක් නිර්මාණ වී තිබෙනවා. ඇඹිලිපිටියේ විද්‍යාලයක අපේක්ෂකයන් පස්දෙනෙකුගේ බුද්ධ ධර්මය විෂයේ උත්තරපත‍්‍රවල කොටසක් අස්ථාන ගත වී තිබීම ඊට හේතුවයි.  එවැන්නක් සිදුව ඇතැයි වාර්තා වූ බව විභාග කොමසාරින් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතාද පිළිගත්තා. වහාම ඒ සම්බන්ධයෙන් සොයා බලන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා ප‍්‍රකාශ කළේ.
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සංවිධාන කිරීමේදීද දුර්වලතා කිහිපයක් පැවතියා. ඇතැම් මධ්‍යස්ථාවලට නියමිත ප‍්‍රමාණයට වඩා අඩුවෙන් ප‍්‍රශ්න පත‍්‍ර සපයා තිබීම එවැනි එක් දුර්වලතාවක්.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.