2012-04-28

පොලිස් පරීක්ෂණ පැවැත්වෙන දෙයක් ගැන ප්‍රකාශ නිකුත් කරන්න බැහැ


කැලණිය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති චමිල දුමින්ද මහතාගේ නිවසට පෙරේදා රාති‍්‍රයේ එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අවසන් වන තෙක් කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. කෙසේ වෙතත්  කැලණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති චමිල දුමින්ද මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ පහරදීමට අමාත්‍ය මර්වින් සිල්වා මහතාද සම්බන්ධ බවයි. කැලණිය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා නගන මෙම ප්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වීමට නම් පොලිස් පරීක්ෂණ අවසන් විය යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ. එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක හේතුවෙන් කිසිදු ප්‍රකාශයක් කළ නොහැකි බවත් එසේ ප්‍රකාශ නිකුත් කළහොත් එය පොලිස් පරීක්ෂණවලට බාධාවක් විය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරට පොලීසිය අපරාධකරුවන් අල්ලා ගැනීමේ දක්ෂතාවයෙන් යුක්ත පිරිසක් බවයි. ඒ අනුව ඔවුන් නිවැරදි වරදකරුවන් නීතියේ ග්‍රහනයට නතු කර ගනු ඇතැයි ඔහු පවසනවා. 
මේ අතර පෙරේදා රාති‍්‍රයේ සිදු වූ පහරදීමෙන් සිය ඥාති සහෝදරයෙකු සහ සහෝදරියකට තුවාල සිදු වූ බව චමිල දුමින්ද මහතා පවසනවා. නිවසේ තිබූ රුපියල් ලක්ෂ 20ක් පමණ මුදල් සහ රන් ආභරණද පැහැරගෙන ගොස් ඇති බවයි ඒ මහතා ප‍්‍රකාශ කළේ.
පොලිස් පරීක්ෂණ ඊයේ ආරම්භ කළ බව පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා. චමිල දුමින්ද මහතා මෙන්ම අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පාර්ශ්වයෙන්ද සිද්ධිය සම්බන්ධයෙන් පැමිණලි ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. කෙසේ වෙතත් කිසිදු සැකකරුවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් කිහිපදෙනෙකුගෙන් ප‍්‍රකාශ පමණක් සටහන් කර ගත් බවත් අජිත් රෝහණ මහතා පැවසුවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.