කොළඹ - කටුනායක නව අධිවේගී මාර්ගයේදී පෑලියගොඩ ආපනශාලා හිමිකරුවකුට පහරදී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පෑලියගොඩ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත්‍රී ජේ. ශ්‍යාමාල් සඳරුවන් මහතා රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය නියම කළා.
ඇපකරුවන් පවුලේ ඥාතීන් විය යුතු බවත් පොලිස් සහ ග්‍රාමසේවා සහතික මගින් සනාථ කළ යුතු බවත් සැකකරු සෑම ඉරු දිනකම පෑලියගොඩ අපරාධ අංශයේ පෙනී සිටිය යුතු බවත් ඇප කොන්දේසියේ සඳහන් විය.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ඇති නිසාත් මනුෂ්‍ය ඝාතන සහ පීඩාකාරී අවි ආයුධ සම්බන්ධ බරපතල චෝදනා ලැබ සිටින දැනට රිමාන්ඩ් භාරයේ පසුවන ඉතිරි සැකකරුවන් තිදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පෑලියගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රංගන මහතා කළ ඉල්ලීමකට අනුව එම සැකකරුවන් සැප්තැම්බර් 26 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරිය නියම කළේය.
සඳුන් පුෂ්පකුමාර හෙවත් චත්තා, ප්‍රභාත් මධුසංක පහන්වල හෙවත් බැරැල් සහ ගුණසිරි ජයවර්ධන යන සැකකරුවන් මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. පෑලියගොඩ දුටුගැමුණු මාවතේ වර්ණකුලසූරියගේ සෙරි තෙරේසා ප්‍රනාන්දු නමැති කාන්තාව විසින් පෑලියගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබිණි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.