2013-10-04

තිස්සට එරෙහිව එජාපයෙන්ම කුමන්ත‍්‍රණයක්

එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා කුණ්ඩසාලේ ප‍්‍රධාන ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විමට හේතුව පක්‍ෂයේම ප‍්‍රබලයින් කිහිපදෙනකුගේ ක‍්‍රියා කලාපය බවට තොරතුරු අනාවරණ වෙමින් තිබෙනවා. පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ මැතිවරණ පරාජයෙන් පසුව පක්‍ෂයේ ප‍්‍රබලයින් කිහිපදෙනෙකු තිස්ස අත්තනායක මහතාට චෝදනා එල්ල කර ඇති බවයි. මධ්‍යම පළාත් සභා මැතිවරණය සඳහා ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත්කෙරුණු මැතිවරණ මෙහෙයුම් කමිටුවට ද සහභාගි වීම පවා තිස්ස අත්තනායක මහතා ප‍්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තාවන්නේ. වයඹ සහ උතුර පළාත් සභා මැතිවරණය වෙනුවෙන් රවී කරුණානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ද මැතිවරණ කමිටුවක් පත්කර තිබුණා. කෙසේවෙතත් මැතිවරණ පරාජයෙන් පසු රවී කරුණානායක මහතා මෙන්ම ලක්‍ෂමන් කිරිඇල්ල මහතා ද එහි වගකීම මැතිවරණ කමිටුව විසින් භාර නොගෙන එක් එක් පාර්ශ්වයන්ට චෝදනා එල්ල කිරීම අර්බුදයට ප‍්‍රධානතම හේතුවක් වී තිබෙනවා. තිස්ස අත්තනායක මහතාගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට ද විවේචනාත්මක අදහස් ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති බවයි වාර්තාවන්නේ. 
තිස්ස අත්තනායක මහතාට එරෙහිව අදහස් දැක්වුවන් අතර පක්‍ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතාද ඇතුලත්. 
මේ අතර මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා මණ්ඩල තෝරා ගැනීමේ සිටම මෙම අර්බුදය හටගෙන තිබු බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ. එහිදී නාමයෝජනා මණ්ඩලවල ප‍්‍රධානීන් ලෙස කටයුතු කළ ලක්‍ෂමන් කිරිඇල්ල සහ රවී කරුණානායක යන මහත්වරුන්ගේ අත්තනෝමතික ක‍්‍රියාකලාප සම්බන්ධයෙන් තිස්ස අත්තනායක මහතා කලකිරීමෙන් සිටින බවයි වාර්තාවන්නේ. මේ හේතුවෙන් තිස්ස අත්තනායක මහතා මැතිවරණයට අපේක්‍ෂකයින් තෝරා ගැනිමේ ක‍්‍රියාවලියෙන් ද ඉවත් වී තිබෙනවා. ඒ අනුව වයඹ සහ මධ්‍යම පළාත් සභා සඳහා තෝරා ගැනුණේ අපේක්‍ෂකයින්ගේ නාමලේඛනයට අත්සන් තැබීමට පවා තිස්ස අත්තනායක මහතා කාර්යාලයට පැමිණ නොමැති අතර එම ලැයිස්තු සිය නිවසට ගෙන්වා අත්සන් තබා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 
උපුටා ගැනීම - NETH NEWS

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.