2014-01-30

කොළඹදී දැල්වූ බයික් හෙඩ් ලයිට් රට පුරාම ව්‍යාප්ත කෙරේ

දිවා කාලයේදී ධාවනය කෙරෙන යතුරු පැදිවල ප්‍රධාන ලාම්පු දල්වාගෙන යෑම දීප ව්‍යාප්ත මට්‌ටමෙන් ක්‍රියාත්මක කිරීමට පොලිස්‌ මූලස්‌ථානය සැලසුම් කර තිබෙනවා. අත්හදාබැලීමක්‌ වශයෙන් බස්‌නාහිර පළාතේ ක්‍රියාත්මක කළ මෙම වැඩපිළිවෙළ ඉතාම සාර්ථක වෙමින් තිබෙන නිසා එය රට පුරාම ක්‍රියාත්මක කිරීමේ සැලසුම් සකස්‌ කරගෙන යන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.
දිවා කාලයේ ධාවනය කෙරෙන යතුරු පැදිවල ප්‍රධාන ලාම්පු දල්වාගෙන යැම රටපුරා සාර්ථක වුවොත් එය නීතිගත කිරීමටද කටයුතු කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. දැනට බස්‌නාහිර පළාත පුරා ක්‍රියාත්මක කර ඇති මෙම වැඩපිළිවෙළ මේවන විට 70% ක්‌ පමණ සාර්ථක වී තිබෙන බව සමීක්‍ෂණ වලින් හෙළිවී ඇති බවද වාර්තා වනවා.
සතියක්‌ තිස්‌සේ ක්‍රියාත්මක වී පවතින මෙම වැඩපිළිවෙළ නිසා බස්‌නාහිර පළාතේ දිවා කාලයේදී සිදුවන යතුරුපැදි අනතුරුවල අඩුවක්‌ දක්‌නට තිබෙන බවද පොලිස්‌ රථවාහන අංශය පවසනවා.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස්‌ රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්‌පති හේමසිරි සේනාරත්න මහතා කියා සිටියේ දිවා කාලයේ ධාවනය වන යතුරු පැදිකරුවන් විශාල පිරිසක්‌ පොලිසියේ ඉල්ලීම අනුව ප්‍රධාන ලාම්පු දල්වාගෙන යතුරු පැදි ධාවනය කරන බවයි.
එහෙත් මෙම ඉල්ලීමට කන්නොදෙන පිරිසක්‌ද සිටින බවත් මෙම ක්‍රියාවලිය සාර්ථක වීම සඳහා සියලු යතුරු පැදිකරුවන් සහාය ලබාදිය යුතු බවත් සේනාරත්න මහතා අවධාරණය කරනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.